20130906

Facebook Likes and Comments






කාගෙ වුණත් ඡායාරූපයක් ගැන
කියන්න දෙයක් තියනව නම්
ශීලාචාරව..
අනික් කෙනා ගැන කරුණාවෙන්
කෙළින්ම කියන්න.

හොඳයි කියල හිතුණොත්
ලයික් නොකරන එක
හොරකමක් කියල හිතන්න.
ඔබ ලැබූ වින්දනයට
හැකි පමණින් කෙළෙහිගුණ සලකන්න.

එසේ කෙළෙහිගුණ නොසැලකුවත්
හොඳ නෑ කියල හිතෙන
කිසිම ඡායාරූපයකට
හිතවත් කමට හෝ
දිරිමත් කරන්න කියා
කිසිවෙක් ලයික් දාන්න අවශ්‍ය නැහැ.

හුරතල් වෙන අයට ඒක නැලවිල්ලක්...
ඒත් හැදෙන කෙනෙකුට සාපයක්.

කාගෙ වුණත්
ඡායාරූපය හොඳ නැත්නම්
යට යාවි..
ගොම රිටි මතු කරන්නට
දායක වෙන්න එපා.
මැණික් යට යන්න දායක වෙන්නත් එපා.

තමන්ගෙ ඡායාරූපය ගැන
කවුරු මොනවා කිව්වත්
විමසා බලල
හේතු සහිතවම පිළිගන්න.

නැත්නම් අත හරින්න.

කිසිම දෙවි කෙනෙක්
අන්ධ භක්තියෙන්
අදහන්න එපා.

පවතින රීතියක් කිව්වොත්
හොඳට හදාරන්න..
විමසන්න, සංවාද කරන්න.

අභ්‍යාසයක් ලෙස විනා
රීති අනුව
ඡායාරූප ගන්න යන්න එපා.

ඉතාම කලාතුරකින් මිසක්
රීති අනුව ඡායාරූප ගන්න බැහැ..
දක්ෂයන් එහෙම කරන්නෙත් නැහැ.
නිරායාසයෙන්,
රීතියකට අනුකූල වුණොත් වෙන්නෙ
සහජ හැකියාව හා
ප්‍රවීණත්වය නිසයි.

රීතිත් හරියට
කේන්දරේ ග්‍රහයො වගේ...
එක තැනකට රීති ගාණක් බලපානවා.
හැම එකක්ම හදාරන්න.
විශාල වශයෙන් අභ්‍යාස කරන්න
නිරායාසයෙන්, නිදැල්ලේ
ඡායාරූප ගන්න.

කමෙන්ට්ස් දිහා
මැදිහත් සිතින් බලන්න..
හොඳයි කිව්වම අහංකාර වෙන අය
නරකයි කිව්වම කලකිරෙනවා.

කමෙන්ට් එක දෙන්නෙ තමන්ට නොව
ඡායාරූපයට බව සිතන්න..
හොඳ වුණත් නරක වුණත්
මේ ඔබේ එකම ඡායාරූපය නෙමෙයි.

හොඳ නම්
ඊළඟ එක ගැන
බලාපොරොත්තු තියාගන්න..
නරක නම්
ඊළඟ එක ගැන
අධිෂ්ඨානයක් ඇති කරගන්න..

කැමරාව කරඬුවක් වගේ
හිසේ තියාගෙන ගිහින්
දේවාලයක් වගේ තැනක් බලල
පරිස්සමෙන් එළියට ගන්න අයට
ඡායාරූපයක් ගැනීම දුකක්.
මහ කරදරයක්.

කැමරාව සෙරෙප්පු දෙක වගේ
දාගෙන ගිහින්
ඉඳලා හිටල දේවාලයක් ආවම
ගලවලා තිව්වත්
දෙවියො ඔහු පිළිගන්නෙ සතුටෙන්...

ඡායාරූප ශිල්පය කියල
කාගෙන්වත් ඉගෙන ගතයුත්තෙ
තාක්ෂණය හා
රීති ආදිය පමණයි.
ඡායාරූප ගැනීම
තනිකරම පුහුණුවෙන ආකාරය හා
පුහුණුවෙන ප්‍රමාණය මත
රඳා පවතිනවා.

හොඳ ඡායාරූප ශිල්පියෙක්
කැමරාව නැතත් ඡායාරූප ගන්නවා.
ඔහුගෙ ඇසත් කැමරාවත් දෙකම එකක්..

No comments:

Post a Comment