20200429

Rule of thirds. තුනෙන් එකේ රීතිය.



ඕනම නිර්මාණයකට
රටාවක්, පිළිවෙළක්, රිද්මයක් තියෙන්න ඕන.

හොඳ චිත්‍රයකට,
හොඳ ඡායාරූපයකට
සම්පිණ්ඩණය අත්‍යාවශ්‍යයි.

අද සිටින
බොහෝ චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්
නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා
ඉතාම සරල රීති පවා නොසලකා
රූපයේ අරමුණු කැමති තැන්වල තබා
නිදැල්ලේ නිර්මාණ කරලා
පසුව අඩුපාඩු අහනවා.
රූපයේ අඩුපාඩුවක් විදියට
"සම්පිණ්ඩණය දුර්වලයි" කිව්වත්
සම්පිණ්ඩණය හදලා පෙන්නුවත්
මූලික දුර්වලකම මග හැරෙන්නේ නෑ.

පලමුවම
"තමන්ගේ නිර්මාණයේ අඩුපාඩු
තමන්ම සොයාගන්න අවශ්‍ය දැනුම
ශිල්පියාම ලබා ගත යුතුයි."

අපිට පෙනෙන අඩුපාඩු ඔක්කොම
කියන්න අපට බැහැ.
පෙනෙන අඩුපාඩු ඔක්කොම කිව්වත් '
'අසන කෙනාට වැටහේවි'' කියන
විශ්වාසයත් අප තුළ නෑ.
පෙන්වන අඩුපාඩුවක් පිළිගෙන
හදාගන්නට ශක්තිය ඇති අය
ඉතාම අවම ප්‍රමණයක් ඉන්නෙ.
බහුතරය කමෙන්ට්ස් වලින් තෘප්තිමත්.

බොහෝ ආධුනික නිර්මාණ වල
මූලිකම අඩුපාඩුව වෙන්නෙ
දුර්වල සම්පිණ්ඩණයයි.

විසිත්ත කාමරයක බඩුමුට්ටු
පිළිවෙළකට තියන ආකාරයෙන්
ඇස පිනවන රටාවකට අනුව
රිද්මයකට සකස් කල යුතුයි.
මේ ගැන බොහෝ දෙනෙක්
ඉතාම නොසැලකිළිමත්.
නිර්මාණයක අරමුණු
වැදගත්කම අනුව පෙල ගැස්විය යුතුයි.
පහසුවෙන්ම පෙනෙන ත්නක
ප්‍රධාන අරමුණ තැබිය යුතුයි.

බොහෝ දෙනෙක් හිතනවා
අපිට පහසුවෙන්ම පෙනෙන්නෙ
රූපයක මැද කියලා.
ජපන් කොඩිය වගේ
එහෙම වෙන අවස්ථාත් තියනවා.
ඒත් සත්‍යය ඊට වෙනස්.


Rule of Thirds වලින් පෙන්වන්නෙ
ඒ සම්පිණ්ඩණ වෙනසයි.

ස්වර්ණමය රීතියත් පවතින්නෙ
මේ රීතියට ඉතාම ආසන්නවයි.
Thirds රීතිය වඩා පහසු නිසා
බොහෝ අය අතර ජනප්‍රියයි.

ස්වර්ණමය රීතිය සඳහා
1 : 1.618 නිශ්චිත අනුපාතය හෝ
ඊට ආසන්න රාමුවක් අවශ්‍යයි.


Rule of Thirds සඳහා
මෙවැනි සීමාවක් නෑ.

රජ කෙනෙක් වගේ කෙනෙක්
කලාතුරකින් මැද තියන්න හැකි වුණත්
සොඳුරු රිද්මයක් හැදෙන්න නම්
මෙවැනි රීති අනුගමනය කල යුතුයි.

දක්ෂ නිර්මාණ කරුවෙකුට
'රීති බිඳීම' රීති රැකීමට වඩා
ප්‍රබල ලෙස භාවිතා කල හැකියි.
ඒත් ඒ රීතිය අදාල වෙන්නේ
රීතිය මනාව දන්න අයට විනා
රීති යන්තමින් ස්පර්ශ කළ
ආධුනිකයන්ට නොවෙයි.

මේ Rule of Thirds ( රීතිය )
උවමනාවෙන් කලක් භාවිතා කොට
ඉන් පසුව අරමුණ එහා මෙහා කරමින්
රූපයේ පෙනුම දියුණු කරගන්න.

ඩිජිටල් චිත්‍ර ශිල්පීන්
චිත්‍ර ශිල්පීන් ලෙස සහ
ඡායාරූප ශිල්පීන් ලෙසත් හැසිරෙමින්
තම නිම් වළලු පුළුල් කරගත්තොත්
ඔවුන්ගේ නිර්මාණවල ගුණය
තවත් ඉහළ යාවි.