20201222

සිසිල් සහ උණුසුම් වර්ණ ( චිත්‍ර හා ඡායාරූප ශිල්පීන්ට )

ඡායාරූපශිල්පියා
ආලෝකය නිසා ඇතිවෙන ඡායාවෙන්
රූපයක් අඳින කෙනෙක් නිසා
ඡායාරූප ශිල්පියා කියනවා.


ඡායාරූපශිල්පියා
ආලෝකය අඳුර පමණද
භාවිතා කරන්නේ.?


ආලෝකය අඳුර කියන්නේ කලු සුදු ඡායාරූප ගැනයි.


වර්ණ ඡායාරූපවලටත්
ආලෝකය අඳුර
ඒ වගේම බලපානවා.
ඒ අතරට අලුත් රීති රැසක්
ඡායාරූපයට බලපානවා.

නිල් අහසේ පියාසර කරන
කොළ පාට මාල ගිරවාත්
ඒ අහසේම පියාසර කරන
කහ පාට ගිරවාත් ඡායාරූප ගත කළොත්
ඒ රූප දෙක එකිනෙකට වෙනස් වෙන්නෙ
කුරුල්ලාගෙ හැඩය නිසාම නොවෙයි.

ගිරවාගේ කොළපාට නිල් අහස සමග
මනාව සංගත වෙනවා.
හොටය මතු වෙනවා.

නිල් පසුබිමේ කහ පාට ගිරවා වඩාත් හොඳින්
කැපී පෙනෙනවා.


ඔබ ඡායාරූප ගන්නා විට
වර්ණවල මේ ස්වභාවයන් පිළිබඳව
හිතා මතාම සැලකිල්ලක් දක්වනවාද?



ඔබ ඡායාරූප ගත කරන අරමුණ
වඩා හොඳ පසුබිමක් සොයා වෙනස් කල
අවස්ථා ගණන කොතරම්ද?

ඒ අවස්ථාවල වර්ණ ගැලපීම හෝ
වර්ණයෙන් වර්ණය මතු කරගන්න
ඔබ උත්සාහ කරන්න ඇති.



වර්ණ භාවිතා කරන ශිල්පියා
ඡායාරූප ශිල්පියෙක් වුණත්,
චිත්‍ර ශිල්පියෙක් වුණත්,
රූපවාහිනී ශිල්පියෙක් වුණත්,
සිනමා ශිල්පියෙක් වුණත්,
විලාසිතා නිර්මාණ ශිල්පියෙක් වුණත්,
වේශ නිරූපණ ශිල්පියෙක් වුණත්,
වර්ණ මනාව හසුරුවන්න නම්,
වර්ණවල හැසිරීම ඉතා හොඳින්
අධ්‍යයනය කල යුතුයි.



 

ප්‍රාථමික වර්ණ, උණුසුම්, සිසිල් වර්ණ,
සංගත වර්ණ, උදාසීන වර්ණ
ආදී වශයෙන් වර්ණ බෙදෙනවා.




රතු කහ නිල් වර්ණ තුන
ආලෝකය අඳුර අනුව
කලු සුදු සමග මිශ්‍ර වීමෙන්
සියලුම වර්ණ හැදෙනවා.

රතු කහ නිල් කලු සුදු මිශ්‍ර වීම නිසා
ඕනෑම වර්ණයක් නිර්මාණය වෙනවා කියල
තර්කයක් විදියට කියන්න අපට පුලුවන්.


ඒත් එක එක කැමරාවකින් ලැබෙන වර්ණ
වෙනත් කැමරාවකින් නොලැබෙන්න පුලුවන්.
කැමරාවේ සෙන්සරය අනුවයි
වෙනස තීරණය වෙන්නෙ.

වර්ණ වල හැසිරීම
ඉතාම පුළුල් විෂයපථයක් නිසා
අපි වරකට එකක් හෝ කීපයක් බැගින්
හදාරන්නට කටයුතු කරමු.

මූලික වශයෙන්
දේදුන්නේ වර්ණාවලිය දිහා බැලුවාම
කාණ්ඩ දෙකකට වර්ණ බෙදන්න පුලුවන්.


සිසිල් වර්ණ සහ උණුසුම් වර්ණ
ගින්දර සහ ජලය බෙදනවා වගේ
පැහැදිලිව දෙකට වෙන් කරන්න පුලුවන්.
රතු ආශ්‍රිත වර්ණ උණුසුම් වර්ණ ලෙසත්
නිල් ආශ්‍රිත වර්ණ සිසිල් වර්ණ ලෙසත්
අපට දකින්න පුලුවන්.

මේ සිසිල් වර්ණ සහ උණුසුම් වර්ණ
කහ සමග මිශ්‍ර වෙද්දි
ද්විතීයික සිසිල් සහ ද්විතීයික උණුසුම්
වර්ණ නිර්මාණය වෙනවා.
ඒ අනුව තැඹිලි පාට දෙවෙනි උණුසුම් වර්ණය
සහ කොළ පාට දෙවෙනි සිසිල් වර්ණය වෙනවා.

මේ අනුව
මූලික වර්ණ තුන සහ මිශ්‍ර වීමෙන්
වර්ණ පහක් හැදෙනවා.

මේ වර්ණ පහ වෙන වෙනම වෙනස බලන්න.
ඔබේ හිතට ඇති වෙන හැඟීම
වර්ණයෙන් වර්ණයට වෙනස් වෙනවා.

ඔබ අඳින ඇඳුම නිල්පාට නම්
ඔබට දැනෙන හැඟීම
රතුපාට අඳුමක් ඇන්දොත්
වෙනස් වෙනවා.


කහපාට ඇති කරන්නෙ වෙනම හැඟීමක්.


ඡායාරූපයක තිබුණත්
ඒ හැඟීම ඇති වෙනවා.

ඒ වර්ණ පහට අමතරව
වර්ණාවලියේ දෙකෙළවර තියන දම්පාට
සමාන්‍යයෙන් නිතර දකින්න ලැබෙන්නෙ නෑ.



දෙකෙලවර තියන වර්ණ දෙක අනුව
නිලට හුරු දම් සහ රතට හුරු දම් ලෙස
තවත් වර්ණ දෙකක් හැදෙනවා.
වර්ණ හතයි.




ස්වර හතක් සහ එහි ප්‍රභේදයන්ගෙන්
සියලු සංගීත රටා නිර්මාණය වෙනවා වගේ
මේ වර්ණ හත සහ ඒවායේ ප්‍රභේදවලින්
සියලු වර්ණ නිර්මාණය වෙනවා.

වර්ණ සමග සම්බන්ධ වීමෙන්
කලු, සුදු මිශ්‍ර වෙන ස්වභාවය
වෙනම ලිපියක කතා කරමු.

ඔබ දකින සොඳුරු වර්ණ රූපවල
මේ වර්ණ රටාවන් ඉතාම රිද්මයානුකූලව
සිත් ගන්නා සුළු අයුරින් මිශ්‍ර කරල ඇති.

 

 

වර්ණ හදාරන කෙනෙක්
වර්ණ රූපයක් දකින වෙලාවට
සිතට සතුටක් දැනෙනවා නම්
"ඒ ඇයි" කියා කියන්න පුලුවන් වෙන තරමට
ඔහු වර්ණ රටා අවබෝධ කරගන්න ඕන.


මේ ලිපිය සමග තියන චිත්‍ර සහ
ඡායාරූප සියල්ලේම වර්ණ රටාවෙ
සිසිල් සහ උණුසුම් වර්ණ වල භාවිතය
ඉතාම පැහැදිලිව දකින්න පුලුවන්.



වර්ණ රටාවක් දක්නට නැති ඡායාරූපයක්.



ඔබ මේ රූප නරඹන විට
පහත දක්වෙන කරුණු
සිතේ තබා ගන්න.

1, සිසිල් සහ උණුසුම් වර්ණ
වෙන් වෙන්ව සිහියෙන් දකින්න.


2, සිසිල් වර්ණ සහ උණුසුම් වර්ණ
අනුපාතය අතර වෙනස බලන්න.


3, සිසිල් පසුබිමේ උණුසුම් වර්ණත්
උණුසුම් පසුබිමෙහි සිසිල් වර්ණත්
කැපී මතුවන අයුරු බලන්න.


4, සිසිල් සහ උණුසුම් වර්ණ
සිත් ගන්නා සුලු ආකාරයට
සම්පිණ්ඩණය කරගෙන ඇති අයුරු
විමසා බලන්න.


5, විශාල සිසිල් හෝ උණුසුම් පදාසයක
ඉතා කුඩා ප්‍රතිවිරුද්ධ වර්ණයක් හෝ
මතුවන ආකාරය සනිටුහන් කරගන්න.

======================================
පහත දැක්වෙන්නේ
සිසිල් සහ උණුසුම් වර්ණ
සිත් ගන්නා සුලු ආකාරයට
සම්පිණ්ඩණය කරගෙන
චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ
චිත්‍ර කිහිපයක්.






වර්ණවල සිසිල් සහ උණුසුම් ස්වභාවය
හොඳින් අවබෝධ කරගත් ශිල්පීන් විසින්
මේ චිත්‍ර නිර්මාණය කොට ඇති බව
ඔබට වටහා ගන්නට මේ දැනුම ප්‍රමාණවත්.



මේ දැනුම සමග
රූපවල වර්ණ රටාවන්
සිසිල් සහ උණුසුම් වර්ණ රටා
හොඳින් අධ්‍යයනය කරන්න.




අන් සියල්ල නොසලකා හැර
සිසිල් සහ උණුසුම් වර්ණ රටා පමණක්
පැහැදිලිව දකින්න හුරු වෙන්න.

මේ මොහොතේ සිටම
සිසිල් සහ උණුසුම් වර්ණ වෙන් කර දකින්න
සිත හුරු කරගන්න.

රූපය පුරා
සිසිල් සහ උණුසුම් වර්ණ  පැතිරෙන
රටාවන් දකින්නත් හුරු වෙන්න.
මේ දැක්ම නිරායාසයෙන් සිදු වෙන තරමට
හිතට හුරුවුනාම ඔබේ නිර්මාණවලත්
සොඳුරු උණුසුම් සහ සිසිල් වර්ණ රටා
නිරායාසයෙන් සකස් වෙයි.

මේ වචන ඒ මට්ටමෙන් ගැනීමෙන්
ඔබට ලැබෙන ප්‍රයෝජනය ඉතාම අල්පයි.
මම කියපු බොහෝ වචන
දැනටමත් සිතෙන් ගිළිහිලා ඇති.
දැනුම රැඳෙන්නෙ නෑ..
තැවරෙනවා විතරයි.


ලිපිය සඳහාම තෝරාගත්
මේ එක් එක් රූපයක් සමග
සැලකියයුතු වෙලාවක් ගත කරමින්
සිසිල්-උණුසුම් වර්ණ අත්දකිමින්
හිත සකස් කර ගන්න.

දින කිහිපයකට පසුව
නැවත මෙහි පැමිණ බලන්න.
එවිට ඔබ දකින ප්‍රමාණය
අදට වඩා වැඩි වෙලා නම්
ඔබේ අත්දැකීම වර්ධනය වෙලා.

වාචික දැනුම
ප්‍රායෝගික වශයෙන් භාවිතා කරලා
මෙහි තියන රූප විග්‍රහ කරමින්
මේ රූප ඇසුරෙන් ඔබ "විඳ පසක් කරන දේ"
ඔබ තුළ නිරතුරුව පවතීවි.
වාචික දැනුම හිඳිල යාවි.

වර්ණ රටා විඳ පසක් කර ලබන
ප්‍රායෝගික අත්දැකීම ඉතුරු වේවි.















No comments:

Post a Comment