20121113

රිද්ම ලක්ෂණ - මහගම සේකර


රිද්මය යනු පුනරුක්තියයි.

ඉතිහාසයද පුනරුක්තියකි.
ලොවේ වරක් සිදුවූ සිද්ධියක්
කිසියම් රිද්මයකට අනුව නැවතත් සිදුවෙයි.

සංගීත හා නර්තන කලාවන්හිදී මෙන්ම
ස්වභාව ධර්මයන්හිදී
රිද්මය චක්‍රයක් මෙන් අඛණ්ඩව ගලා යයි.

රෑ දාවල
ඍතු බේදය
වඩදිය බා දිය
වර්ෂාව......
වළාකුලු සිහිල් වී වැස්ස වසී.
වැසිදිය ගං හෝ දියේ ගලා ගොස්
වැව් හා මුහුදු වල පිරෙයි.
ඒ දිය වාෂ්ප වී අහසට නැග
වළාකුළු සේ කැටි ගැසෙයි.
වළාකුලු සිහිල් වී යළිත් වැසි වසී.

මුහුදු රැල්ල වෙරළට ගලා එන්නේ චක්‍රාකාරවය.

අශ්ඨ ලෝක ධර්මය

සංසාර චක්‍රය

නාඩි වැටෙන රිද්මය ස්පර්ශයෙන් දැනේ.
කුරුලු නාද වල රිද්මය කණට ඇසේ.
ගහ කොළ ඇල දොළ ආදියෙහි රිද්මය
ඇසට පෙනේ.
ගසක අතුපතර හා මුල් විහිදී යන සැටියෙන් ද
අත්තක කොළ පිහිටා ඇති සැටියෙන්ද
කොළයක නහර හා දැත් පිහිටා ඇති සැටියෙන්ද
මේ රිද්මය වටහා ගත හැකිය.
බෝ ගසක කොළ සුළඟින් සැලෙනවිට
වායු තරංග වල ඇති රිද්මය අපට ඇසේ.         

කාන්තාරයෙහි වැලි රැල්ල මෙන්ද
සමුද්‍රයෙහි දිය රැල්ල මෙන්ද
ඒ රිද්මය සටහන්වේ.     

සමුද්‍රඝෝෂ වෘත්තය යනු
දිය රැල්ලේ රිද්මය සංගීතයට නැගීමකි.

තිරිඟිතලය යනු
එය චිත්‍රයට නැගීමකි.

ජීවිතය, විශ්වය හා රිද්මය යනු
එකක් ම නොවේදැයි මට සිතේ.
---------------------------------

 විශ්වය ගීතයකි 
සේකර

=========================================================


රිද්මය වෙනස් වෙන්නෙ තාලයෙන්..
රවි ශංකර්ගෙ සිතාර් වාදනයෙ රිද්මය
අල්ලා රක්ඛා තබ්ලාවෙන් තාලය ලබා දෙනවා



තාලය අවබෝධ වෙනකොට
රිද්මය තේරෙනවා.
විශ්වය පිළිවෙළකට පවතින්නෙ
මේ දෙක මතයි.


සොබාදම රිද්මයකට හැසිරෙනවා.
තාලය මිනිසාගෙ පහසුවට තනාගත්
අංග විකල රිද්මයක්.

දක්ෂ මිනිසා රිද්මයානුකූලයි.
සාමාන්‍ය මිනිසා තාලානුකූලයි.
දුර්වල මිනිසා අවුල්සහගතයි.


ඔහුට තාලයත් රිද්මයත් දෙකම නැහැ.

දියුණු මිනිසා
තමා තුල රිද්මය රැකගෙන
සමාජය සමග සමාජයෙ තාලයට
ජීවිතය සුවසේ ගත කරනවා.

රිද්මය තාලය දෙකම නැත්නම්
අපිළිවෙලක්, අවුලක් ඇති වෙනවා.



 
තාලය කියන්නෙ
නිශ්චිත අන්තරයකින් යමක්
නොකඩවා සිදු වෙමින් පැවතීමයි.
තත්පර මිනිත්තු හෝරා
තාලයකටයි සිදු වෙන්නෙ.


හෝරා යන්ත්‍රය වැඩ කරන්නෙ තාලයකට.

දහවල හා රාත්‍රිය සිදු වෙන්නෙ රිද්මයකටයි.
දහවල හා රාත්‍රියට
නිශ්චිත පැය ගාණක් නැහැ.

වසරේ එක කාලෙක
ඉර උදාව සහ බැසීම
තවත් කාලෙක වෙනස්.

ඉන්ජිනේරුවන්, ගණිතඥයින්ට
තාලය ප්‍රයෝජනවත් වෙනවා.
ගෘහ නිර්මාණ ශිල්පියාට
තාලය වගේම රිද්මයත් අවශ්‍යයි.

තාලයට බර පුද්ගලයා යාන්ත්‍රිකයි.
රිද්මයට බර පුද්ගලයා කලාත්මකයි.

කලාවෙදි භාවිතා වෙන්නෙ රිද්මයයි..
කලාවෙදි තාලය භාවිතා වෙන්නෙ
රිද්මයට විසංසන්දනයක් ලෙසයි..
සමමිතික ඡායාරූප වලදි
රිද්මයට වඩා
තාලය භාවිතා වෙනවා.

කලාවෙදි රිද්මය වැදගත්.
විද්‍යාවෙදි තාලය වැදගත්.
මේ දෙකටම එකිනෙක අවශ්‍ය වෙනවා.

.
ඩාවින්චි විද්‍යාත්මක කලාකරුවෙක්.


අයින්ස්ටයින් කලාත්මක විද්‍යාඥයෙක්.
.

රිද්මය සහිත දේවල් සමග මොළයෙ දකුණු පැත්ත කටයුතු කරනවා.

මොළයෙ වම් පැත්ත තාලයට බර දේවල් සමග වැඩ කරනවා.
.
මොළයෙ  දෙපැත්ත සමබර නම් ජීවිතය පහසුයි.
.
මිනිසෙක් අංග සම්පූර්ණ වෙනකොට
මේ අංශ දෙකෙන්ම දියුණු විය යුතුයි.
.
බුදු දහමෙ මූලික පරමාර්ථය මේ දෙපැත්ත ම පිළිබඳ සිහිය -
සම්පජානෝ සති දියුණු කිරීමයි.
බුදුන් වහන්සේ
මේ දෙකෙන්ම උපරිම වශයෙන් සංගතික මි
නිසායි.

කෙනෙක් හිතන විදිය,වැඩ කරන විදිය
ප්‍රිය කරන දේවල්. කරන නිර්මාණ යාන්ත්‍රිකයි නම්
ඔහුගෙ රිද්මය දුර්වලයි.
.
තාලයට ඇබ්බැහි වෙන්න පුලුවන්.
රිද්මයකට වැඩ කරන්න සිහිය අවශ්‍යයි.
.
කුඩා දරුවන්ට රිද්මය තියනවා.

බොහෝ ජීවිත
ළදරු කාලය කෙළවර වෙන විටම
අවුල් වෙන්න පටන්ගන්නවා.
.
සමාජ ජීවිතයෙදි හෝරා සමග වැඩ කරමින්
යාන්ත්‍රික රටාවට ඇබ්බැහි වුණත්
රිද්මයට හානි පැමිණෙනවා.

තාලයට හුරු නොවුණත්
රිද්මය බිඳෙනවා.
එසේ රිද්මය අවුල් වූ මිනිසුන්
තාලය මුල් කරගත්ත
බාල හරසුන් දේට කැමති වෙනවා.
සංගීතය වශයෙන් ඔවුන් ප්‍රිය කරන්නෙ
තාල වාද්‍යභාණ්ඩ වලින් නැගෙන හඬයි.

චිත්‍ර සහ ඡායාරූප වලදි
ඔවුන් ස්වාභාවික දර්ශන වලට වඩා
තනි කළු හෝ සුදු හෝ තනි වර්ණයක් ඇති
පාළු පසුබිම් ප්‍රිය කරනවා.
මොන ක්ෂේත්‍රයක වුණත් මේ වෙනස්කම් දකින්න පුලුවන්.

මේ වෙනස ගැන
පිටු දහස් ගාණක පොතක් ලියන්න පුලුවන්.
නොතේරෙන කෙනෙකුට
වෙනස අවබෝධ වෙන එකක් නැහැ.

දකින්න ශක්තිය ඇති කෙනෙකුට
බලන හැම තැනම තාලය හා රිද්මය තියනවා.

තාලය කියන්නෙ
නිශ්චිත අන්තරයන් ඇති රිද්මයට.

රිද්මය කියන්නෙ
අවිනිශ්චිත අන්තරයන් ඇති තාලයට.


 

No comments:

Post a Comment