20121107

ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?
















  • ඡායාරූපයක් යනු ගලා යන කාලයෙහි
    එක් මොහොතක් පමණක් නොව
    ඡායාරූප ශිල්පියාගේ ජීවිතයෙහිද
    එක් අසුරු සැණකි.

    ඡායාරූපයක දෙන්නෙක් සිටින බව
    ඇන්සල් ඇඩම්ස් පවසා ඇත.
    එනෙම් ඡායාරූප ශිල්පියා සහ
    රසිකයායි.
    අප මෙහි මූලිකව සලකා බලන්නේ
    ඡායාරූප ශිල්පියායි.

    ඡායාරූපයක් යනු
    ඡායාරූප ශිල්පියාගේ ජීවිතයේ
    ප්‍රබල හෝ දුබල අත්දැකීමක
    ඉතා ක්ෂණික ප්‍රකාශනයකි.
    එහෙත් එම ක්ෂණික ප්‍රකාශනය තුළ
    ඉතා දීර්ඝ ඉතිහාසයක් පිළිබිඹුවෙයි.

    ඡායාරූපයකින්
    ප්‍රධානවශයෙන්ම පිළිබිඹුවන්නේ
    ඡායාරූපය ගත් ඡායාරූපශිල්පියාමය.
    ඡායාරූප ශිල්පියාගේ රුචිකත්වය,
    ඔහුගේ සිහිය,
    අරමුණ පැහැදිලිව දැකීමට ඇති හැකියාව,
    අරමුණට අදාළව ඒ අවට ඇති බොහෝ දේ
    අරමුණ සමග එකවරම දැකීමේ හැකියාව,
    ඔහු බලන කෝණය,
    සමීප, මධ්‍යම හෝ දූර රූපීය බව,
    සුන්දරත්වය දැකීම -
    එනම් වර්ණ , රේඛා, හැඩතල ආදියෙහි
    අන්‍යෝන්‍ය රිද්මය විඳීමට හා
    සිතින් දැකීමට ඔහු තුළ ඇති හැකියාව,
    ඡායාරූප ශිල්පියාගේගේ දරා සිටීමේ හැකියාව,
    ජීවිතය දෙස ඔහු බලන ආකාරය,
    ඔහු හොඳ නරක දකින ආකාරය,
    ඔහුගේ මානව දයාව හෝ දුෂ්ඨ කම ආදියත්
    මේ සියල්ලටම වඩා
    ඔහුට රසිකයා පිළිබඳ ඇති ගෞරවය හා විශ්වාසයත්
    ඔහුගේ ඡායාරූපයෙන් පිළිබිඹු වෙයි.

    ඡායාරූපයක වටිනාකම රඳා පවත්නා ප්‍රධානම සාධකය
    බොහෝ නවකයින් සිතන ආකාරයෙන්
    ඔහු සතු මිළ අධික කැමරාව
    හෝ ඡායාරූප ශිල්පියා එක්‍රැස් කොට ඇති
    තාක්ෂනික හා කලාත්මක තොරතුරු සම්භාරයත් නොවේ.
    ඒ සියල්ල මෙවලම් හා මාර්ගෝපකරණ පමණි.

    ඡායාරූපයක් යනු
    ඡායාරූප ශිල්පියා යන ගමනේදී
    එම මෙවලම් හා මාර්ගෝපකරණ
    මනාව හැසිරවීමෙන් ප්‍රකාශවන
    ඡායාරූප ශිල්පියාගේ ආත්මයයි.

    විශ්වයෙහි අන් සියල්ලම මෙන්
    ඡායාරූප ශිල්පියාත්
    ඔහුගේ ඇතුළාන්තයේ සිට
    හැසිරීම් දක්වා සියල්ලම
    සමස්තයක් වශයෙන්
    මොහොතින් මොහොත
    වෙනස් වෙමින් පවතියි.

    කලින් කලට ඡායාරූප ශිල්පියාගේ ඡායාරූපවල
    අප දකින වෙනස්කම් වලට මූලිකම හේතුව
    මෙසේ ඡායාරූප ශිල්පියා තුල සිදුවන
    නිරන්තර වෙනස් කම්ය.

    ඡායාරූප ශිල්පියෙකු
    අලුත් කැමරාවක් ගත් පමණින්
    ඔහුගේ ඡායාරූපවල ගුණාත්මක අගයෙහි
    සැලකිය යුතු වෙනසක්
    අපට දැකිය නොහැක.
    එහෙත් ඡායාරූප ශිල්පියෙක්
    පෙම් සබඳතාවයක පැටලීම හෝ
    පෙම් සබඳතාවයක් බිඳ වැටීම
    ඔහුගේ ඡායාරූප වලට
    තදින් බලපාන්නට ඉඩ ඇත.
    ඔහු විවාහ වීම හෝ දික්කසාද වීම
    ඊටත් වඩා තදින් ඔහුගේ ඡායාරූප වල
    දියුණුවට හෝ පිරිහීමට බලපාන්නට ඉඩ ඇත.
    ඔහු ළං කර ගන්නා හෝ ඈත් කරන
    මිතුරන් හා මග පෙන්වන්නන්
    ඡායාරූප වලට බලපාන
    තවත් ප්‍රබල සාධකයි.
    දුසිරිතට ඇබ්බැහි වීම හෝ ඉන් මිදීමද
    ඡායාරූප ශිල්පියාගේ නිර්මාණ ශක්තියට
    තදින් බලපානු ඇත.
    පරිසරය, රැකියාව ආදී පොදු බාහිර සාධකද
    ඔහුගේ ඡායාරූප වල
    ආකෘතිය, අන්තර්ගතය හා අගය
    වෙනස් වීමට බලපායි.
    ඡායාරූප ශිල්පියා කරන කියන
    අන් සියලු දේට මෙන්ම ඡායාරූප වලටද
    ඔහුගේ මේ අනවරත වෙනස් වීම්
    ප්‍රබලව හෝ සියුම් ලෙස බලපායි.

    තම වෙනස් වීම් ගැන අවධානයෙන් තොරව යන
    බොළඳ ඡායාරූප ශිල්පියාගේ මග අඳුරුය, ගමන කෙටිය.

    උක්ත සාධක සියල්ල අතුරෙන්
    ඡායාරූප ශිල්පියාට
    වඩාත්ම ප්‍රයෝජනවත් සාධකය විමසා බැලුවහොත්
    "ඡායාරූප ශිල්පියා වෙනස් වීමෙන් ඡායාරූප වෙනස්වේ "
    යන සියුම් අවබෝධය අපට උකහා ගත හැකි සාරයයි.

    ඡායාරූප ශිල්පියා
    ඡායාරූපකරණයෙන් සාර්ථක වන්නට නම්
    ඔහුගේ කැමරාව තුළට ඇතුල්වන
    ආලෝකය හා අඳුර පමණක් නොව
    ඔහුගේ ජීවිතය තුලට ඇතුල් වන
    ආලෝකය හා අඳුරද පාලනය කලයුතුය.
    ආලෝක ප්‍රමාණය පාලනය කරන්නට නොහැකි විට
    වේගය පාලනය කළ යුතුය.
    වේගය අධික නම් ආලෝක ප්‍රමාණය පාලනය කළ යුතුය.

    ඔහු ලෝකයට ඉදිරිපත් කරන ඡායාරූප තුළින්
    ඔහු සතුව ඇති දැක්මෙහි පැහැදිලි බවද
    ඔහුට තමා සහ කැමරාව
    පාලනය කරන්නට ඇති හැකියාවෙහි ප්‍රමාණයද
    මනාව පිළිබිඹුවයි.

    ඡායාරූප ගැනීම ශිල්පයකි, ශාස්ත්‍රයකි, කලාවකි.
    අන් සියලු ශිල්ප, කලා, හා ශාස්ත්‍ර වලට මෙන්ම
    ඡායාරූපකරණයට බලපාන ප්‍රධාන ගුණාංගද
    කිහිපයක් ඇත.

    අප ඉදිරියේදී අවධානය යොමු කරන
    එම ගුණාංග අතුරෙන් එකක් හැර
    අන් සියල්ලම
    ඡායාරූප ශිල්පියාගේ පාලනයට නතුය.

    ඔහුගේ පාලනයෙන් තොර
    එකම ගුණාංගය නම්
    ඔහුගේ සහජ හැකියාවයි.

    පොදු අවබෝධයට අනුව
    සහජ හැකියාව
    ආධ්‍යාත්මික හා මානසික වශයෙන්
    ඔහු මීට පෙර ජීවිතවල විඳි අත්දැකීම්
    හා ශාරීරික වශයෙන්
    ඔහුගේ උපතට දායක වූ
    දෙමව්පියන්ගේ පරම්පරාවෙන්
    ඔහුට දායාද වූ ගුණාංග මත
    තීරණයවේ.

    එහෙත් එම අවබෝධය සම්පූරණ නැත.
    අද මේ මොහොත දක්වා
    ඔහු ගත කළ ජීවිතය අනුව
    ඔහු සහජයෙන් ගෙන ආ හැකියාවන්ගේ
    වර්ධනයක් හෝ පිරිහීමක් සිදුව ඇත.
    එහෙත් අතීතය පාලනය කළ නොහැක.
    මින් මතුවට ඔහු ගත කරන ජීවිතයද
    ඔහුගේ සහජ හැකියාව
    වර්ධනයට හෝ පිරිහීමට හේතු වනු අතර.
    ඒ සඳහා අප සංවාදයට බඳුන් කරන
    ඉතිරි සාධක බලපානු ඇත.

    ඡායාරූප ශිල්පියා බැහැරින් ලබා ගන්නා දැනුම
    ඡායාරූපයකට බලපාන ඉතාම ප්‍රබල සාධකයකි.
    ශාස්ත්‍රීය, ශිල්පීය, හා කලාත්මක යනුවෙන්
    දැනුම ත්‍රිවිධාකාරය.

    ශාස්ත්‍රීය දැනුම නම්
    ඡායාරූපකරණයෙහි ඉතිහාසය,
    දක්ෂ ඡායාරූප ශිල්පීන්ගේ ශෛලීන්,
    ඡායාරූපකරණයෙහි
    සිද්ධාන්ත - මූලධර්ම - න්‍‍යායයන්
    හා රීති ආදිය පිළිබඳව
    සහ භාවිත කළ යුතු උපකරණ,
    මෙවලම් ආදිය ගැන සහ
    ඒවා පාලනය, නඩත්තුව ආදිය පිළිබඳව
    ඇති මනා දැනුමයි.

    ශාස්ත්‍රීය දැනුම
    පොතපතෙන්,
    වෘත්තීය ඡායාරූපශිල්පීන්ගෙන් හෝ
    ගුරුවරුන්ගෙන්ම ලැබෙයි.

    කවරාකාරයෙන් ලැබුණද
    දැනුම අපට ලැබෙන්නේ
    වෙළඳ සැලෙන් ගෙනෙන එළවලු මෙන්
    අමුවෙන් අපට අනවශ්‍ය බොහෝ දේ සහිතවය.
    වෙළඳ සැලෙන් ගෙනෙන එළවලුවල
    වියලුනු, පරවුණු කොල පමණක් නොව
    නොසේදුණු කෘමිනාශක, හෝ පණුවන්, පිළවුන්ද
    සිටිය හැක.

    ශාස්ත්‍රීය දැනුමද අපට ලැබෙන්නේ එසේය.
    අප එය අපේ කාර්යයට අවශ්‍ය ආකාරයට
    සකසා ගතයුතුය. තෝරා බේරා ගතයුතුය.

    ස්වාධීනව සිතන්නට නුහුරු නිසා
    ගුරුවරයා හෝ මගපෙන්වන්නා මතම යැපෙන්නා
    අනවශ්‍ය බොහෝ දේ සහිතව
    අමු දැනුම භාවිතා කරන්නට ගොස්
    ඡායාරූපකරණයද එපා කරගනියි.

    ස්වාධීනව සිතන්නට නුහුරු,
    අනුන් මතම යැපෙන්නාට
    පැහැදිලි අරමුණක් නැත.
    නිශ්චිත අරමුණකින් දැනුම සොයන්නා තුළ
    දැනුම මෙන්ම
    ඉගෙනගැනීමේ හැකියාව වර්ධනය වෙයි.
    තමා යන දිශාව හා
    තමා යන්නට අරමුණු කරන තැන
    හොඳින් දන්නා කෙනෙකු
    ගුරුවරුන්, මග පෙන්වන්නන් හා
    පත පොත ඇසුරෙන් ලබන දැනුම
    ස්වාධීනව පෙරාගෙන සකසා ගනියි.
    ගුරුවරයා මත යැපෙන්නට නොදී
    ශිෂ්‍යයා නිදහස්ව නිවහල්ව සිතන්නට පුරුදු කිරීම
    ගුරුවරුන්ගේ ප්‍රධානම වගකීමකි.
    ගුරුවරයා එය නොසලකන විට
    ඔහු තමා වටා පිරිස රොක් කරගැනීමෙන්
    සිසුන්ගේ ගමනට ඇති
    ප්‍රධානම බාධකය ගුරුවරයාම බවට පත්වෙයි.
    මෙම අසීරු බාධකය ජය ගැනීම
    හැම සිසුවෙකුගේම ප්‍රධාන අහියෝගයක වන්නේ
    ඔහු යැපෙන්නෙකු වන ආකාරයට
    දූ දරුවන් යැපෙන්නන් ලෙස පුහුණු කිරීමට
    අද කාලයේ දෙමව්පියන්
    සිය සම්පූර්ණ ශක්තිය හා සම්පත් යොදවන නිසාවෙනි.
    දෙමව්පියන් මත යැපෙන්නට ඇබ්බැහි වෙන දරුවා
    මියෙන තුරුම යැපෙන්නට කෙනෙකු සොයයි.

      
    ශිල්පීය දැනුම නැත්තාට
    ශාස්ත්‍රීය දැනුම සරුවපිත්තල ආභරණයක් මෙන්
    යනෙන තැන්වල පැළඳගෙන ගොස්
    බොළඳ පිරිසක් මැද කැපී පෙනෙන්නට හැකි වුවද,
    සැලකිය යුතු අන්දමේ නිර්මාණයක යෙදිය නොහැක.
    ශාස්ත්‍රීය දැනුම ආභරණයක් ලෙස උපයෝගී කරගන්නා විට
    ඉන් සිදු වන විශාලම අනර්ථය නම්
    නිර්මාණයක් ලෝකයට ඉදිර්පත් කරන්නට ඇතිවන
    විචාරක භීතිකාවයි.
    ශාස්ත්‍රීය දැනුම හුවා දක්වා ප්‍රතිරූපයක් තනාගෙන
    එය රැකගන්නට තැත් කරන්නාට නිර්මාණයක් ඉදිරිපත් කොට
    සමාජය ඉදිරියේ දෙපයින් සිටගෙන
    ඊට එල්ලවන විවේචන දරා ගත නොහැක.

    එනිසා ඔහු හැකි හැම විටම
    තම ශාස්ත්‍රීය දැනුම පෙන්වමින්
    ඉන් සැනසී එහිම ගැලී ජීවත් වෙයි.
    මෙයින් ගැලවෙන්නට ඇති හොඳම මාර්ගය වන්නේ
    ශාස්ත්‍රීය දැනුම ශිල්පීය දැනුම බවට
    හැකි ඉක්මණින් පත් කර ගැනීමය.
    ශිල්පියා යනු සිය ශාස්ත්‍රීය දැනුම
    ප්‍රායෝගිකව උපයෝගී කරගත හැකි
    ශාස්ත්‍රචාරී, ශාස්ත්‍රවිහාරී තැනැත්තාය.

    ඒ සඳහා
    ඔහු තම ශාස්ත්‍රීය දැනුමට අනුව
    නිතර කැමරාව හසුරුවමින්
    සිය දැනුම හැකි හැම විටම
    උරගා බැලිය යුතුය.
    නොබියව එහි ප්‍රතිඵල
    සමාජයට ඉදිරිපත් කළ යුතුය.
    රසිකයාගේ අදහස් වලට ගරුකළ යුතුය.
    ලැබෙන සාධාරණ ගුණ දොස් විවේචන මෙන්ම
    පදනම් විරහිත කුහක නින්දා අපහාසද
    නිහතමානීව හා සාවධානව ඉවසා දරාගෙන
    එමගින් සිය දැනුම හා ආත්ම ශක්තිය
    පෝෂණය කර ගත යුතුය.
    අඩු ලුහුඬු තැන් සකසා ගත යුතුය.
    විවේචන වලට එකඟ වියනොහැකි තැන
    කුපිත වූ වෘකයෙක් මෙන් කඩා නොපැන
    නැත් නම්
    පැස්බරෙකු මෙන් හිස වැල්ලේ ඔබා නොගෙන
    ශීලාචාරව, සංවරව හා ඍජුව
    සිය අදහස් පළ කළ යුතුය.
    සංවාදයේ යෙදිය යුතුය.

  • සිය නිර්මාණ සමාජයට ඉදිරිපත් කරන්නට මෙන්ම
    ඒවා අභියෝගයට ලක්වූ විට
    වෙනුවෙන් නිහතමානීව හා ශීලාචාරව
    නැගී සිටින්නටද ශක්තිය
    නිර්මාණකරුවෙකුට තිබිය යුතුය.

    පොදු රසිකයා
    නිර්මාණයක හොඳ නරක මනින්නේ
    නිර්මාණ කරුවන් මෙන්
    ශාස්ත්‍රීය හෝ ශිල්පීය දැනුම මත
    පිහිටා නොවේ.
    ඡායාරූප ශිල්පියා
    සිය ශාස්ත්‍රීය හා ශිපීය ශක්‍යතාවය
    රසිකයාට පෙන්වීමට තැත් කිරීම
    නිරර්ථක වූත් වෙහෙසකරවූත් ක්‍රියාවකි.
    පොදු රසිකයාට අවශ්‍ය වන්නේ
    ඡායාරූපයක් මගින්
    සිය යටිසිතෙහි සැඟවුණු
    රසභාවයන් කලත්තා ගෙන
    ඉන් මතුවන හැඟීම් හා සිතිවිලි රස විඳීමය.
    එම හැඟීම් හා සිතුවිලි
    පොදුවේ ප්‍රයජනක වීම
    ඔහුට අවශ්‍ය නොවේ.
    දුක, සතුට, භය, කරුණාව,
    හාස්‍යය, විශ්මය, ත්‍රාසය ආදී
    විවිධ හැඟීම් ඔවුහු රසවිඳිති.
    තවත් කෙනෙකු තුළ
    හැඟීමක් ඇතිවෙන ආකාරයේ
    සංවේදී නිර්මාණයක් කරන්නට නම්
    නිර්මාපකයාගේ රසඥතාවය
    රසිකයා ට වඩා තීව්‍ර විය යුතුය.
    තියුණු විය යුතුය. ප්‍රබල විය යුතුය.
    රසිකයා තුළ හැඟීම් ඇතිකරවන අයුරින්
    ඡායාරූපයක අංග හසුරුවා ගන්නට
    උපයෝගීවන සාධක පිළිබඳ දැනුම
    ශාස්ත්‍රීය ලෙස ලබාගත හැක.
    ලොව විශ්ෂ්ඨයන්ගේ අගනා නිර්මාණ
    එම දැනුමට අනුව විග්‍රහ කිරීම
    හා ඒවායින් ආභාෂය ලැබීම
    රසඥතාවය වඩා ගැනීමට
    ඉතා උපකාරී වේ.

    විවිධාකාර කෝණ,
    වර්ණ , රේඛා, හැඩතල ආදිය හා
    ඒවායේ සම්පිණ්ඩණය පිළිබඳව හැදෑරීමේදී
    ඡායාරූප ශිල්පියා ඉගෙන ගන්නේ
    ඡායාරූප වලින්
    රසිකයාතුළ විවිධ හැඟීම් පහළ වන අයුරින්
    එම කලාත්මක අංග තම සිතැඟි පරිදි
    නිර්මාණාත්මකව හසුරුවන ආකාරයයි.

    රසිකයාගේ රස වින්දනය හසුරුවා ගැනීම
    ශිල්පියාගේ කලාත්මක රසඥතාවය,
    කලාත්මක දැනුම හා
    කලාත්මක ශක්‍යතාවය මත
    රඳා පවතී.

    ඡායාරූපකරණයේ
    කලාත්මක සාධක පිළිබඳ ශිල්පියාගේ අවබෝධය
    නිරායාසයෙන්ම
    ඡායාරූප තුළින් පිළිබිඹු වන්නට හේතුවන්නේ
    නිරතුරුව වැඩෙන කලාත්මක හැකියාවයි.
    ශාස්ත්‍රීය හා කලාත්මක දැනුම
    ශිල්පීය ශක්‍යතාවය බවට පත් වන්නේ
    සතත අභ්‍යාසයෙනි.
    වේලාවක් අවේලාවක් නැතුව
    හැකි සියල්ල ඡායාරූප ගත කරමින්,
    ඒ සියල්ල තම දැනුමට අනුව විමසමින්,
    සමාජයට ඉදිරිපත් කරමින්, සංවාද කරමින්
    නොකඩවාම සිය හැකියාව දියුණු කර ගැනීම
    අත්‍යාවශ්‍යය.

    ඡායාරූප ශිල්පියෙකු යම් තරමකට
    සිය දක්ෂ තාවය වඩා ගනීද
    ඒ තරමට ඔහුගේ
    ජීවිතය සැහැල්ලුය.
    ඡායාරූප ශිල්පියෙකු ලෙස
    ජීවත් වීමේදී
    හූල්ලන්නට හෝ දත්මිටි කන්නට
    ඔහුට අවශ්‍ය නොවේ.

4 comments:

  1. සිතෙ ඇතත් නැතත්
    හදට වදින
    සෙයාවක් දමා
    රසිකයකු
    කැමති නම් එයට
    එයයි මාගෙ
    සතුට
    (සෙයාවන් පිලිබද්ව දැනුමක් නැතිව නිසොල්මනෙ)

    ReplyDelete
  2. .
    බොහෝ විට
    සංස්කරණය ප්‍රතික්ෂේප කරන්නෙ
    සංස්කරණය නොදන්නා
    ඡායාරූප ශිල්පීන්..
    ඔවුන් කළ යුතු හොඳම දේ
    හැකි ඉක්මණින්
    සංස්කරණය ඉගෙනීමයි.

    ඩිජිටල් එන්නත් කලින්
    ඡායාරූප ශිල්පීන්
    ඡායාරූප මුද්‍රණයේදී
    සිදුරු සහිත කාඩ්බෝඩ්,
    පුලුන් ගුලි ආදිය ආධාරයෙන්
    ස්ංස්කරණය කළා.

    ඒත් බොහෝ නවකයන්
    සංස්කරණය තුලින්
    හොඳ ඡායාරූප බාල කිරීම
    සංවේගජනකයි.

    ශිල්පියා එක්කෙනෙක් නම්
    කැමරාවෙන් ක්‍රොප් කළත්
    පරිගණකයෙන් ක්‍රොප් කළත්
    තීරණ ගැනීමෙ වෙනසක් නැහැ.

    අවස්ථාව වෙනස්.

    එකක් ත්‍රිමාණ දර්ශනයක් හරහා
    ගලා යන කාලයෙන්
    මොහොතක්.
    අනික එසේ නතර කරගත්
    ද්විමාන මොහොතක්..

    ReplyDelete
  3. ඉතාමත් වටිනා ලිපියක් ! ඔබට පින් !!!

    ReplyDelete
  4. මේ පහත ප්‍රකාශය මට ම ලියපු 1ක් වගේ...
    මමත් මේ කාණ්ඩයේ ද කියලා හිතෙනවා ;)
    වටිනා ලිපියක් කොහොම උනත් :)

    "ස්වාධීනව සිතන්නට නුහුරු,
    අනුන් මතම යැපෙන්නාට
    පැහැදිලි අරමුණක් නැත."

    ReplyDelete