20121115

පෙළහර පා ලොව දිනූ විශිෂ්ඨ මිනිසුන්...



ඇෆ්ඝන් මොනාලිසා  -  සේයාරුව ස්ටීව් මැක්කරි


ප්‍රාතිහාර්ය නිතරම සිදුවන්නේ නැත.

බුදුන් වහන්සේගේ දම්සක් පැවතුම් සූත්‍රය
අසන්නට පැමිණි තරම් සෙනගක්
යළිත් කිසිදාක වෙනත් සූත්‍රයක් අසන්නට
උන්වහන්සේ වෙත ආවේ නැත.
ජේසුන් වහන්සේගේ කන්ද උඩ දේශනාව
අසන්නට පැමිණි තරම් සෙනගක්
යළි උන්වහන්සේ වටා රැස් වූයේ නම්
ඒ උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසුම් කෑ දවසේය.
අයිස්ටයින්ගේ සාපෙක්ශතාවාදය වැන්නක්
ඔහු යළිත් සොයා ගත්තේ නැත.
ඩාවින්චිගේ මොනාලිසා වැන්නක්
ඔහුගේ අනික් චිත්‍ර අතර නැත.
ඇෆ්ඝන් යුවතිය වැනි සේයාරුවක්
ස්ටීව් මැක්කරිගේ ජීවිතයේ
යළි මෙතෙක් බිහිවී නැත.
වැකොව්ස්කි සොහොයුරන් මේට්‍රික්ස් වලින් පසු
තවමත් දැනෙන යමක් කළේ නැත.
මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ
ත්‍රිලර් වැන්නක් බිහිවූයේ නැත.
එහෙත් ඔවුන් එතනින් නැවතුණේද නැත.

මයිකල් ජැක්සන්, ස්පීල්බර්ග්,
සත්‍යජිත් රායි, කුරොසාවා, බර්ග්මාන් වැන්නවුන්
ජීවිතය පුරාම විශිෂ්ඨ කෘති ලොවට දායාද කළෝය.

සමහරු ලොවටම දැනෙන එක් දෙයක් බිහි කොට
එතනින් නවතින්නෝය.
තවත් සමහරු ලොවටම දැනෙන එක් දෙයක් බිහි කොට
එතනින් එහාට ගමන් කරමින්
එවැනි හෝ එතරම් නැතත් කැපී පෙනෙන නිර්මාණ
ලොවට දායාද කරමින් ඉදිරියට යන්නෝය.

මෙවැනි උදාහරණ අනන්තය අප්‍රමාණය.
අපේ ජීවිත වලද එවැනි අවස්ථා එමටය.
පෙළහරක් සිදුවන්නේ කලාතුරකිනි.
ආධුනික කලාකරුවන්ගේ ජීවිතවල
එවැනි පෙළහරක් සිදුවූ විට
ඔහුත් නිර්මාණයත්
අහස උසට එසැවෙන්නේ නිතැතිනි.
එම පෙළහරෙන්
බොහෝවිට, ඔහුගේ අනාගත ජීවිතය
ඉබේම තීරණය වෙයි.

ඔහුට මාර්ග දෙකක් ඇත.

ඔහු දුර්වල හිතක් ඇති
බාල චරිතයක් ඇත්තෙකු නම්
කරන හැම දෙයක්ම ඒ මට්ටමින් කරන්නටත්,
කරන හැම දේටම සම්මාන ලබන්නටත් වෑයම් කරමින්
නොලැබෙන තැන තමා ඉහලට එසවූවන්ගේ දොස් දකිමින්
ඔවුන් සැක කරමින් ආතතියෙන් යුතුව
ජීවිතය දුකක් කරගත හැක.

ශක්තිමත් සිතක්
හා ප්‍රබල චරිතයක් ඇත්තෙකු නම්
මුලදී නොමග ගියත් එය පහසුවෙන් සිදු නොවන තැන
උපේක්ශාවෙන් යුතුව
සිහිය පිහිටුවාගෙන එම පෙළහර පාන්නට මුල්වූ
සුවිශේෂී  මානසික පසුබිම සොයා ගන්නට
ජීවිතය කැපකරයි.
සැබෑ සුදුස්සෙකු නම් එම පෙළහර පාන්නට මුල්වූ
සුවිශේෂී මානසික පසුබිම සොයා ගනියි.

1 comment:

  1. අපුරුයි,කදිමයි.කෙටි නමුත් නවක සිත් වලට දිගු ලෙස සිතන්න
    මග කියන අපුරු ලිපියකි.

    ReplyDelete