20130324

ඡායාරූපයේ කලාව -ලාල් හෑගොඩ



.
ඡායාරූපයක් අරන්
ඒක කොට්ටේ යට තියන් ඉඳල වැඩක් නෑ.
මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන.."
-ලාල් හෑගොඩ






ඡායාරූපයේ කලාව හඳුනාගන්න රසිකයාගේ කියැවීම අවශ්‍යයි


සේයාරුව - රසංග දිසානායක



ශිල්පයක් කලාවක් බවට පත්වන්නේ
ඒ ශිල්පය මඟින්
මිනිස් අධ්‍යාත්මය ස්පර්ෂ කිරීමේ
සියුම් බව හඳුනාගත් ඇසිල්ලේ ය.

ඡායාරූපය නම් ශිල්පීය උපක්‍රමය
කලාවක් බවට පත්කොට ගත් නිර්මාණකරුවන්
මෙලොව සිටින්නේ අතළොස්සකි.
ඒ එහි තාක්‍ෂණික ස්වරූපයට හා
ශිල්පීය ගුණයන් ට
එය භාවිත කරන
බොහෝ දෙනා යටවීම නිසා ය.

ලාංකේය ඡායාරූප කලාව වර්ධනය කිරීමේලා
මහඟු මෙහෙයක් කළ
විල්සන් හෑගොඩයන්ගේ පුත්‍ර ලාල් හෑගොඩ
ඔහුගෙන් පසු යුගය
ශිල්පයේ හා කලාවේ සුසංයෝගයෙන්
පොහොණි කරන්නේ ය.
හේ, මේ සංලාපය මඟින්
ඡායාරූප ශිල්පය කලාවක් වන අන්දම
සනිදර්ශිත ව විග්‍රහ කරයි.

===================================

වාර්තා ඡායාරූපකරණය කියන්නෙ
කැමරාව ඉදිරිපිට ඇති දෙය
හැකිතරම් නිවැරදි ලෙස
පවතින තත්ත්වයෙන් රූපගත කිරීමයි.
වෙනත් කෙනකුට ඒ ඡායාරූපය දෙස බලා
නිවැරදි දත්ත වටහා ගත හැකි වෙන්න ඕන.

නිර්මාණයේදි
ඒ ඡායාරූපය ගනිද්දි තිබුණ දේ නොවෙයි,
ඡායාරූප ශිල්පියා විසින් එය දකින විදිය,
ඔහු එය නිර්මාණය කරන විදිය
සහ කැමරාව ඇතුළට ආ පසු වෙන දේ
අන්තර්ගතයි.
ඇත්තට ම ඡායාරූප ශිල්පියාට පවා
පින්තූරය ගන්න කලින්
එය දකින්න ලැබෙන්නෙ නැහැ.
එය තමා ඡායාරූප ශිල්පයේ
සියලු ම ශිල්පීයතා යොදා ගන්නා වෙලාව.

එහෙව් නිර්මාණයකට
අධ්‍යාත්මයක් තියෙනවනම්
එය තමයි කලාව වෙන්නෙ.
ඒක හරි ම ශූන්‍යයයි.
කලාව කිව්වම
ඒක නිර්වචනය කරන්න අමාරුයි.
---------------------------------------------------
 ඡායාරූප ක්ෂේත්‍රයේදී
ශිල් පය හා කලාව
වෙන් කොට හදුනාගන්නේ කෙසේ ද?

නවකතාවක්, කවියක්, කෙටිකතාවක් හෝ චිත්‍රපටියක්
අප ව අධ්‍යාත්මිකව අමතනවානම්
ඒක කලාවක්.
එතකොට රසිකයාගේ ශිල්ප ඥානයත්
ඊට බලපානවා.
මම ඡායාරූපයක් ගත්තම
ඒක මගේ සහ රසිකයාගේ අධ්‍යාත්මය
අමතලා තියෙනවනම්
ඒ ඡායාරූපය ශිල්පීයත්වය ඉක්මවා ගිය
කලාත්මක ඡායාරූපයක් බවට පත් වෙනවා.

මම දවසක් ලිව්වා කවි පොත්වල කවි නෑ කියලා ලිපියක්.
කවිය ඇති වෙන්නෙ කවියාගේ සිතේ,
ඊට පස්සෙ කවිය ඇති වෙන්නෙ
රසිකයාගේ සිතේ.

පොත කියන්නෙ
අතරමැදි අවස්ථාවක් විතරයි.
එතකොට ඡායාරූපය
එක්තරා අන්දමකට ඉන්ද්‍රිය අත්දැකීමක්.
ඒ කියන්නෙ දෘෂ්‍යමය අත්දැකීමක්.

නවකතාවක්, කවියක්, කෙටිකතාවක් හෝ චිත්‍රපටියක්
අප ව අධ්‍යාත්මිකව අමතනවානම්
ඒක කලාවක්.

-----------------------------------------------------------------
 ඡායාරූපයක් අපූර්වත්වයට පත් වෙන්නේ කෙසේද?

රසිකයා මින් පෙර නොදුටු දෙයක්
විය යුතු වෙනවා.
නිර්මාණය ඇසට ආමන්ත්‍රණය කරද්දි
කලාව මනසට අමතනවා.

මෙතෙක් නොදුටු දෙයක්
ඇසට හෝ මනසට ආමන්ත්‍රණය කරනවා නම්
එය තමයි අපූර්ව ඡායාරූපයක් වෙන්නෙ.
-----------------------------------------------------------------

චිත්‍රය පමණයි තිබුණේ

ඔව්. චිත්‍රය තමයි ග්‍රැෆික් කලාවේ ආරම්භය.

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cc/AltamiraBison.jpg/300px-AltamiraBison.jpg
ස්පාඤ්ඤයේ ගල් ගුහාවක
සතෙක් ගෙ රූපයක් ඇඳපු වෙලාව තමයි
ග්‍රැෆික් කලාවේ ආරම්භය.
ඒ තමයි ද්විමාන ලෝකය
ත්‍රිමාන ලෝකයකට ගෙන ආ වෙලාව.
ඒක අතිවිශිෂ්ට කාර්යයක් වුණා.
කැමරාව හැදුවෙත්
පළමුවෙන් ම චිත්‍ර ශිල්පයට තමයි.

හැබැයි කැමරාව හැදුන වෙලාව නොවෙයි
ඡායාරූපකරණය (Photography) බිහිවුණු වෙලාව.
ඡායාරූපකරණය හැදුණේ පටලයක් හදපු තැන ඉඳලා.

ඊට අවුරුදු 600 කට පමණ කලින් තමයි
කැමරාව හදලා තිබුණේ
චිත්‍ර ශිල්පීන් විසින්.

ඩාවින්චි පවා එය පාවිච්චි කරලා තිබුණා.
මුලින්ම කැමරාව වුණේ විශාල උපකරණයක්.
File:Camera obscura box.jpg

ඊටත් කලින් කැමරාව කිව්වෙ කාමරයකට.
මේක දියුණු වේගෙන වේගෙන එනකොට
ටිකෙන් ටික භාවිතයට පහසුවෙන්න ඕන නිසා
කුඩා වුණා. අනතුරුව මි.මි.35 කැමරාව තැන ඉඳලා
පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගත්තා.

-----------------------------------------------------------------

 අද වන විට අපි පරිගණකයෙන් වැඩ ගන්නවාට වඩා
පරිගණකය විසින් අප මෙහෙයවන තත්ත්වයකුයි තියෙන්නේ.
කැමරාවෙන් විය යුතු වන්නේ
අප කැමරාව මෙහෙයවීම මිස
කැමරාවට අප මෙහෙයවීමට දීම නොවේ .

මගේ ශිෂ්‍යයෙක් හිටියා
ඡායාරූප ශිල්පය හදාරන.
ඔහු ඒ කාලෙ ග්‍රැෆික් ශිල්පියෙක්.
ඔහු කුසලතා පූර්ණව මෙය හදාරගෙන ගියා.
පස්සෙ ඔහු තමන්ගේ පින්තූර
පරිගණකය මඟින් වඩාත්
හොඳ මට්ටමට හදාගත්තා.
ඔහු තමන්ගෙන් වැරදෙන දේ
පරිගණකය හදලා දෙන නිසා
තමන්ගේ වැරදි අවබෝධ කරගත්තේ නැහැ.
ඔහු හොඳ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්.
හැබැයි කලාත්මක ඡායාරූප ශිල්පියෙක් වුණේ නැහැ.
--------------------------------------------------------------

අවසන වැදගත් වන්නේ අවසන් කරන ලද නිමැයුම වන බැවින් දක්‍ෂතා පිළිබඳ තක්සේරුවක් ලබාගැනීම අපහසුයි  හිතෙනවා .

ඔව්. වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය.

ඩිජිටල් හරි පරිගණකයෙන් හරි
අවසන් වශයෙන් හොඳ පින්තූරයක්
ලැබිලා තියෙනවා නම්
එයයි වැදගත්.
දැන් පරිගණකයෙන් කරන ලද වෙනස්කම්
හඳුනා ගැනීමට නොහැකි තරමටම
සියුම් ලෙස කිරීමට සමත් අය සිටිනවා.
---------------------------------------------------------------

වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් හා නිදහස් ඡායාරූප ශිල්පියකු අතර ඔබ දකින වෙනස්කම් කවරේද?

නිදහස් ඡායාරූප ශිල්පියකුට
තමන් කැමති ඕනෑ ම දෙයක්
ඡායාරූපයට නැඟිය හැකියි.
ඒත් වෘත්තීය ඡායාරූප ශිල්පියා ඊට වෙනස්.
සැබෑ වෘත්තීය ශිල්පියාට සිද්ධ වෙනවා
වෙනත් කෙනකුගේ ඇණවුම්වලට
පින්තූර ගන්න.
එහෙම නැත්නම්
තමන්ගේ විකිණීමේ අදහස
මූලික කරගෙන පින්තූර ගන්න.

එතකොට එයාට ශිල්පය
අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා.
හැබැයි අද ඉන්න වෘත්තීය ඡායාරූප ශිල්පීනුත්
එහෙම අධ්‍යයනය කරලා නැහැ.

නිදහස් ඡායාරූප ශිල්පියාට
තමන් ගන්න පින්තූරය හොඳ නැත්නම්
එය නොගෙන අතහැර දමා ඉන්නත් පුළුවන්.

හැබැයි වෘත්තිය ඡායාරූප ශිල්පියාට එහෙම බැහැ.
-------------------------------------------------------------

 ඔබ රාජ්‍ය සම්මානිත කවියෙක්. ඒ වගේ ම ප්‍රතිභාසම්පන්න ඡායාරූප ශිල්පියෙක්. මේ ක්‍ෂේත්‍ර දෙකෙන් ම ඔබ රසිකයන්ගේ අධ්‍යාත්මය පෝෂණය කළා. මේ කලාවන් දෙකේ සුසංයෝගය එකිනෙකට බලපෑ අන්දම ගැන කතා කළොත්.

මම ඉස්සෙල්ලා
ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියේ.

අහඹු ලෙසයි කවි ලියැවුණේ.

මම කවිය හදාරලා නැහැ.
එය නිසඟව ආව දෙයක්.

ඔබ ඇසූ ප්‍රශ්නයට
හරියට ම පිළිතුරක් දෙනවා නම්
මෙන්න මෙහෙමයි.

මට හමුවූ සහ දැකපු සමහර දේවල්වල
පින්තූර ගන්න බැහැ.
එතකොට මම ඒකට කවි ලියනවා.

සමහර ඒවට කවි ලියන්න බෑ,
ඒක පින්තූරයට එනවා.

මගේ ප්‍රකාශනය ඒ සීමාවට ආව ම
මම මාධ්‍ය දෙක මාරු කරනවා
කියලා කිව්වොත් හරි.

මගේ කවියක් තියෙනවානේ
"මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා "
කියලා.

ඒකෙ කවියත් තියෙනවා,
පින්තූරෙත් තියෙනවා.
ඒ දෙකම එකට එකතු වූ අවස්ථාවක්.

සේයාරුව --ලාල් හෑගොඩ

තාත්තා ගැන කවියක් තියෙනවා.
ඒ වගේ ම පින්තූරයකුත් තියෙනවා.
ඒ දෙක එකට යාවුණේ එහෙමයි.


---------------------------------------------------------------------------------
සම්පූර්ණ ලිපියම කියවන්න.
http://www.silumina.lk/punkalasa/20130324/_art.asp?fn=ar1303241

=================================================================
තාත්තා ගැන කවිය.......................................
බුලු ගහ

දෙගොඩ තලන මඩ වතුර ගඟ

පාවඩයකි ඉලව් ගෙදර

පොල්කෑල්ලෙන් එගොඩ‍ වෙමි පාරට
තාමත් වසී වැස්ස ගස් යට

දොර ඇරුණු කූඩුවක
ඉගිලී නොගොස් සිටිනා
පැටවකු හා කිරිල්ලියක සේ
සීතාත්- පැටියාත් සිටිති දොරකඩ

‍ගොම්මනේ නොපෙණුනත් හිනා වෙනව ඇති...

ගොඩනැඟුණු විට ගෙට
නොක්කාඩු මුහුණකි තෙත බරිත

“බයයි ඉන්න අදනං මේ ගෙදර මට
සුළඟ මේ තරමටම
බලන්න බුලු ගහ
ඉගිල්ලෙන්නට හදන”

අස්වසා ඈ
ගිල දමා බත් ගුලියක්
දිග ඇදෙමි පැදුරේ
හැමුවා සුළඟ එක්වර ම
නිවාගෙන කුප්පි ලාම්පුව
ඇරඹුනා කුණාටුව
ලෝකාන්ත මහා මේඝ වරුසාව අඬගසා
වධක බෙර ගසාගෙන

ඉඩ ඇති ඇති තැනින්
රිංගයි
විදුලිය උරගුන් ගෙදරට

බි‍ඳේ මහ අතු අඳුරේ

දෙ පළු වන කඳන් හෙණ වැදී
ඉදිරී වැටේ ඝෝෂාව නංවමින්

ගෙන මුගුරු ද ආයුධ
හැඳි වත් උස්සාගෙන
පරුෂ වචනෙන් කෑ ගසමින්
උමතු මදාවියන් සේ දුවයි රැලට
මිනීමරු සුළඟ‍
ත්‍රස්ත කරමින් වන පෙත

අම්මාවරුන් මෙන්
සඟවාගෙන තුරුලේ කුඩා ගස්
හඬාවැටෙනා හඬ ඇසේ
විලාප නගමින් මහා ගස්

කොටන්නේ විදුලිය
පෙන්වන්නටද නැසුණු ගස්
ජීවත් වන ගසට
තර්ජනය කරන්නට

දැන් වැටේ
දැන් වැටේ බුලු ගස
සිතේ - කළුවරේ

මැදිකරගෙන පුතු
ගුලි වීමු නිදි පැදුරේ
“මැරුණොත් මැරුණාවෙ ඔක්කොම එකට”

කුණාටුව නැවතුණු අලුයම
බැස බලමි මිදුලට

වැටුණු පොල් ගස් දෙකත් සුළඟට
රැඳී ඇත බුලු ගහේ අතු අතර
වළක්වා අපේ පැල
දෑතේ දරා සිටිනු වැනි පොල් ගස්
රැයක් පහන් වන තුරු
උස මහත් තාත්තා කෙනෙකු සේ

1 comment:

  1. .
    මම දවසක් ලිව්වා
    කවි පොත්වල කවි නෑ කියලා ලිපියක්.
    කවිය ඇති වෙන්නෙ කවියාගේ සිතේ,
    ඊට පස්සෙ කවිය ඇති වෙන්නෙ
    රසිකයාගේ සිතේ.

    පොත කියන්නෙ
    අතරමැදි අවස්ථාවක් විතරයි. -ලාල් හෑගොඩ
    ---------------------------------
    කලාකරුවෙක්
    කලා නිර්මාණයකින් කරන්නෙ
    එක තැනක තියන ලුණු කුට්ටියක්
    වතුරෙ දිය කරලා
    තව තැනකට යවනවා වගේ වැඩක්.
    ඡායාරූපය, චිත්‍රය,
    සාහිත්‍යය මාධ්‍යයක් විතරයි.
    ඔහු එයින් කරන ප්‍රකාශනයයි
    පවතින්නෙ.

    රසිකයාත්
    කලාකරුවාට සමාන හෝ
    ඔහුට වඩා උසස්
    රසඥතාවයක් ඇත්තෙක් නම්
    අර ලුණු වතුරෙන්
    වතුර වාශ්ප කරලා
    ලුණු ටික බේරාගන්න
    පුලුවන් වෙනවා.

    ඒත් මාධ්‍යය වෙන
    වතුරෙ ගුණාංග වලට අහුවෙලා
    වතුර විදියට
    පානය කරන්න උත්සාහ කළොත්
    දෙකම නැති වෙනවා.

    ඡායාරූපය හා
    ඡායාරූපගත කරන ක්‍රම
    සංස්කරණය සියල්ලම
    වතුර විතරයි.

    වැදගත් වෙන්නෙ
    ඡායාරූපයට
    නිර්මාණකරුවා එක් කරන
    ලුණු රසයයි.
    ඔහු එක් කරන ලුණු ප්‍රමාණයත්
    රසිකයාට උකහාගත හැකි
    ලුණු ප්‍රමාණයත් මත
    කලාකෘතියක විශිෂ්ඨත්වය
    රඳා පවතිනවා.

    ReplyDelete