20131209

ෆේස්බුක් සමූහවල ගැවසෙන ඔබට වචනයක්.


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1480751_10201079284530971_1370518841_n.jpg




ෆේස්බුක් සමූහයක
පිපෙන මල් වැනි චරිතත්
පහ කරනලද මල වැනි චරිතත්
දකින්නට පුළුවන්.

පිපෙන මලට ඇදෙන මැස්සාත්
පහකරන ලද මලට ඇදෙන මැස්සාත්
එකිනෙකාට වෙනස්.

සොයන දේ අනුවත්,
රස විඳින දේ අනුවත්
හැසිරෙන ආකාරය අනුවත්,
තටුගසන විට නික්මෙන හඬ අනුවත්
ඔවුන් වෙන් කොට හඳුනාගත හැකියි.

පහ කරන ලද
මලපහට ඇදෙන මැස්සා
එහිම රැඳී එයම බුදිමින්
එයට නිකරුණේ ආවඩමින්
මලපහ වෙනුවෙන්ම කල්ගෙවනවා.

පිපෙන මලට ඇදෙන මැස්සා
රොන් ඇත්නම් රොන් ගනිමින්,
රොන් නැත්නම් වෙනත් මලක් සොයමින්
ස්වාධීනව නිදැල්ලේ සරනවා.

මේ දෙවර්ගයට
එකිනෙකා තේරුම් ගන්න බැහැ.
එකිනෙකා රුස්සන්නෙත් නැහැ.

ෆේස්බුක් සමූහයක
ආරවුල් ඇතිවෙන්නේ
මේ ප්‍රධාන චරිත වර්ග දෙක අතරයි.

අනෙක් චරිත දෙපිළකට බෙදී
ආරවුලට මැදිහත් වෙනවා.
කෙනෙක් ඇවිලෙන ගින්නට පිදුරු දමනවා.
කෙනෙක් දිය ඉසිනවා.
ගින්න දර දිය අනුව අඩුවැඩි වෙමින්
එහි ආයු ඇති තාක් ඇවිලෙනවා.
අත්‍රමග නිවනවාට වඩා
නිවෙනතුරු ඇවිලෙන්නට දීම
සමූහයකට යහපත්.
ගින්නක් නිසා සමූහය ආරනවා..
සමූහය මෝරනවා.
දුර්වල ළඳ බොළඳ චරිත
සමූහයෙන් ඈත්වෙනවා.
සමූහය හැර යනවා.
අරටුව ඉතිරිවෙනවා.
නව දළු දමනවා.

මේ ආරවුල් ඉබේම මටුවෙන
අහඹු අවස්ථා මෙන්ම
හිතා මතා නිර්මාණය කරන
සංවිධානාත්මක පිරිස්
සාර්ථක ෆේස්බුක් සමූහයක
කලින් කල දකින්න පුලුවන්.
ඔවුන් ඒ අහඹු අවස්ථා
සිය වාසියට හරවා ගන්නවා.

සිංහල සමාජයේ තියන ප්‍රධානම
මුල් බැස ගත්, ඔඩු දිවූ රෝගයක් නිසා
එම කඩාකප්පල්කාරීන්
යම් දුරකට
ඔවුන්ගේ අරමුණු ඉටුකරගන්නවා..

හැමකෙනෙකුටම කෙසේ හෝ අදාළ වෙන
එම වසංගත රෝගයට හෙතුවෙන විෂබීජ
චරිතයකට එක්වන්නේ කුඩාකලදීම
දරුවෙකුගේ දෙමාපියන් මගිනුයි.
දරුවාගේ වැඩිහිටියන්, බොළඳ ගුරුවරුන්
ඒ රෝගය පත්තියම් කරනවා.
ඔහු ඒ රෝගයට වාහකයෙක් වෙනවා.

තමන් විඳි දුක්වලින්
ලැබිය යුතු පන්නරය නොලබා
එම දුක් හදවතින්ම විඳිමින්,
පසුතැවෙමින් ජීවත් වූ දුර්වල චරිත
දරුවන්ගේ පුද්ගලික ආරක්ෂක භටයන් හා
රජගෙදර වහලුන් බවට
ස්වේච්ඡාවෙන්ම පත්වෙමින්
දරුවා සවිමත් වෙන අත්දැකීම් වලින්
ඔහු මුදවාගෙන
ඔහු වැඩෙන්නට, මෝරන්නට නොදී
ඔහු රකිනවා.

දරුවා නිදන විට
නිදි වරාගෙන
දරුවා ට පවන් සැලූ දෙමව්පියන්
ඔහු අවදි වූ සැණින්
තම වහල් සේවය අරඹමින්
දරුවාට අංග විකලයෙකුට,
අබ්බාගාතයෙකුට මෙන් සලකනවා.
ඔහුත් අංග විකලයෙක්,
අබ්බාගාතයෙක් මෙන්
සුකොමලව වැඩෙනවා.

පිඟානට බෙදා දුන් ආහාරය
මුවෙහි ලාගන්නවත්..
අනා මුවෙහි ලූ අහර පිඩ සපන්නවත්
මේ සුකොමල චරිත ශක්තිමත් නැහැ.

මල් මෙන් වැඩෙන මේ සුකොමල චරිත
පොඩි අව් රැල්ලකටවත් මුහුණ දිය නොහැකිව
සුමුදු මල් මෙන් පරවෙනවා.
ෆේස්බුක් සමූහ ආරන්නේ එවැනි චරිත නිසයි.

චරිත වශයෙන් දුර්වල ඔවුන්
කල්ලි ගැසී විනෝද වෙන්නට කෑදරයි.
ඔවුන් සොයන්නේ
එවැනිම සුකොමල චරිත
නිතර ගැවසෙන තැන්.

සන්සුන් නිවුණ සමූහ සොයාගන්නා ඔවුන්
ඒ පරිසරය තුළ ගැවසෙමින්
බොම්බයි මොටයි වැනි
තාවකාලික සුව විඳිමින්
සතුටෙන් කල් ගෙවනවා.
අකමැති දෙටත් ලයික් දමමින්,
බොරු චාටු බස් වලින්
අභූත වර්ණනා කරමින්
බොරු කරන්නේ ඒ පිරිසමයි.
සමූහයක ආරවුලක් ඇතිවූ විට
කම්පාවී හඬා වැලපෙන්නේත්
මේ සුකෝමල චරිතයි.

සමූහයක විටින් විට ඇතිවෙන
තාවකාලික ආරවුල් වලින්
දැඩිලෙස පීඩාවට පත්වෙන
මේ ළඳ බොළඳ පිරිස්
සමූහයෙන් ඈත්වෙනවා.
නැත්නම් අදෘෂ්‍යමානව පැමිණ
සිදුවන දේ සැඟවී නරඹනවා.

කෙසේ වුවත්
 ෆේස්බුක් සමූහයක් ආරන්නේ
එවැනි සුකොමල චරිත වලින්.
ඒත් ෆේස්බුක් සමූහයක් මෝරන්නේ
ස්වාධීන නිදහස් සාමාජිකයන් නිසයි.

කිසිවිටෙකත්
ඔවුන් සමූහයෙහි ගැත්තන් නොවෙයි.
සමූහය මත අණසක පතුරුවන
මැරයන්ද නොවෙයි.

තැනක මැරයෙකුට ගැතිකම් කරන නිවටයා
තව තැනක මැරයෙක් මෙන් හැසිරෙනවා.
ඔහුටත් තමා හා හැසිරෙන
නිවටයන් රැලක් අවශ්‍යයි.

ඔබට මැරයෙක් හමු වූ විට
හොඳින් ඔහු විමසා බලන්න.
ඔහු කාට හෝ මැරයෙකුට
ගැතිකම් කරන නිවටයෙක්.

මැරයන්ට රුස්සන්නේ නැති
දෙදෙනෙකු සිටිනවා.

1, ස්වාධීන පුද්ගලයා.
2, තමා ගැතිකම් කරන පුද්ගලයාට
තමා මෙන් ගැති නොවන්නා.

ඔවුන්ගෙන්
ඔහුගේ හීන මානයට හා
අතිමානයට පහර වදිනවා.
ඔහු ස්වාධීන පුදගලයන් සමග
පුද්ගලික කෝන්තරයක් ඇතිකරගෙන
පහරදෙන්නට මාන බලමින්
හිතවතෙකු මෙන් හැසිරෙනවා.

ස්වාධීන චරිතයක් බිඳින්නට
ක්‍රම දෙකක් තියනවා.

එකක් ඔහුගේ ගැත්තෙකු වීම.
ගැත්තෙකුට යටත් වූ මොහොතේම
ඔහුගේ ස්වාධීන බව ගිලි හෙනවා.

තනතුර නිසා හෝ
මතුපිඅට ස්වභාවයක් වන
ඔහුගේ රුවට, හඬට, ගුණයට,
බලයට වහ වැටී
අවට ගැවසෙන පිරිවර නිසා හෝ
කල්ලි නායක කමෙන්
හිස උදුම්මාගන්නා බාල චරිත
නිකරුණේ තමන්ට හුළං ගහන
ගැත්තන්ගේ ප්‍රශස්ති හා, බැළමෙහෙකිරීමෙන්
සොඳුරු වින්දනයක් ලබා
ඔහු වටා එක්වෙන ගැත්තන්ගෙන්
තව තවත් පිම්බෙනවා.

ඔහුගේ මූලික අරමුණ වන්නේ
නව ගැත්තන් වැඩිකර ගැනීම සහ
පැරණි ගැත්තන් රැකගැනීමයි.
ගැත්තෙකුට රිසිවිටෙක
ඔහුගේ හුළං බස්සන්නට
එක අල්පෙනෙත්තකින් සන්නද්ධ වූ
'එකම එක ගැත්තෙක් ප්‍රමාණවත්.

දෙවැනි ක්‍රමය නම්
ස්වාධීන පුද්ගලයාට හිරිහැර කොට,
හිංසා කොට, ඔහු අසරණ කොට
නිවටයෙකු කොට
ඔහු ගැත්තෙකු බවට
පත්කර ගැනීමයි.

මේ දෙකම අසාර්ථක වූ විට
කඩාකප්පල්කාරියා කරන්නේ
ස්වාධීන පුද්ගලයා හෝ සමූහය වටා රැස්වෙන
සහෘද පිරිසේ සාමාජිකයන්ට
අවස්ථා සොයාගෙන පහර දීමයි.

ෆේස්බුක් සමූහවල
වරින් වර සිදුවෙන
සාමාජිකයන් තනිකරගෙන
වට වී කරන පහරදීම්
පුද්ගලිකව සාමාජිකයෙකුට කරන
පහරදීමක් විය හැකියි.

මතුපිටින් එසේ පෙණුනත්
එම පහර දෙන කල්ලියෙහි
මුඛ්‍ය පරමාර්ථය සමූහය විය හැකියි.
සැබැවින්ම ඔවුන්ගේ ඉලක්කය
මුළු සමූහයම විය හැකියි.

හැම ක්‍රියාශීලී සාමාජිකයෙකුටම
හැම ක්‍රියාශීලී සමූහයකටම
වරින් වර මෙම පරීක්ෂාවට
මුහුණ දීමට සිදු වෙනවා.

නිවටකම් හා මැරකම් වලින් වැළකී,
සංවරව ප්‍රශ්න වලට මුහුණ දෙමින්
ස්වාධීනව හැසිරෙන සාමාජිකයන්ද,
සාමාජිකයන්ට නිවට නොවෙන,
සාමාජිකයන්ට මැරකම් නොකරන
ස්වාධීන ඇඩ්මින්වරුන්ද,
සිය ස්වාධීන බව රැකගන්නවා නම්
සමූහයක් කඩා බිඳ දමන්නට
කඩාකප්පල්කාරීන් ශක්තිමත් නැහැ.

පහර දෙන්නාට ආවේගය අවශ්‍යයි.
ඔහු දැවෙන්නේත්..
ඔහු අන්කා දවන්නේත්
ඔහු තුළ ඇවිලෙන ද්වේශයෙන්.
ක්‍රියාශීලී වූවිට
ඔහුගේ ද්වේශය ඉන්ධන මෙන්
දැවී යනවා.
නිශ්චිත කාලයක් තුළ
අනිකා දවා නොගත්තොත්
ඔහුගේ ඉන්ධන දැවී හමාර වෙනවා.
නැවත ඉන්ධන සපයාගත යුතු වෙනවා.
ඔහුගේ ඉන්ධන දැවෙන්නට පෙර
දැවී පළායන දුර්වලයන් හමුවේ
ඔහු වීරයෙකු වෙනවා.

ඔහුට සරිලන කෙසෙල් ගස හමුවූදාඅට
ඔහුගේ හොට පැටළෙනවා.

නිවටයෙක් සිය ප්‍රතිවාදියා දුර්වල කරන්නේ
ඔහු හමුවේ බැගෑපත්වීමෙන්.
ඔහුට ගොට්ට ඇල්ලීමෙන්.
ඔහු පිම්බීමෙන්.

මැරයෙක් සිය ප්‍රතිවාදියා දුර්වල කරන්නේ
ඔහු කෝපයට පත් කිරීමෙන්.
නැත්නම් ඔහුට රිදවීමෙන්.

රිදවීමෙන් නොසැලෙන
කෝපයෙන් වියරු නොවැටෙන
සංවර ප්‍රතිවාදියාගේ
අභීත ඉවසීමේ ශක්තිය
මැරයාගේ .ආවේගය නාස්ති කරන
අක්‍රිය කරන සාධකයක්.

තමාගේගේ වියරු ස්වභාවය
දකින්නට සිහි එළවාගන්නා මැරයා
එක්කෝ යළි නො.එන්නට පළා යනවා..
නැත්නම් අඳුරු මුල්ලකට පසුබැස
තුවාල ලෙවකමින්,
ද්වේශයෙන් දැවෙමින්
දුර්වල වූ ආවේගය
මානසිකව පෝෂණය කරනවා..
ඔහුට බාලයන් ඇසුර සරුබිමක්.
මත්පැන් හොඳ උත්ප්‍රේරකයක්.
චාටු බස් ආවරණයක්.

යළිත් වරක්
ද්වේශයෙන් සන්නද්ධ වෙන මැරයා
ද්වේශය මුදා හරින්නට
සුදුසු කුණාටුවක් හමන තුරු
කල්මරනවා.

නිවටකම් හා මැරකම් වලින් වැළකී,
සංවරව ප්‍රශ්න වලට මුහුණ දෙමින්
සමූහය තුළ ස්වාධීනව හැසිරෙන
ශක්තිමත් සාමාජිකයන්ද,
මැර සාමාජිකයන්නට නිවට නොවෙන,
සාමාජිකයන්ට මැරකම් නොකරන
ශක්තිමත් ඇඩ්මින්වරුන්ද,
සිය ස්වාධීන බව රැකගන්නා තුරු
ඔවුන්ගේ හැම පහරක්ම අසාර්ථකයි.

ඔවුන්ගේ හැම අසාර්ථක පහරක්ම
මැරයන්ට හැදෙන්නට අවස්ථාවක්.

ඔවුන්ගේ හැම අසාර්ථක පහරක්ම
ස්වාධීන සාමජිකයන්ට,
ස්වාධීන ඇඩ්මින්වරුන්ට
සහ ශක්තිමත් සමූහවලට
නව පන්නරයක්.
--------------------------------------------------
...........= පුද්ගලික පණිවිඩය. =...........
ෆේස්බුක් සමූහවල ගැවසෙනවා නම්,
ෆේස්බුක් සමූහ රඟ මඬල තුල
කොතැනක හෝ ඔබත්
මේ චරිතවලින් එකක් හෝ කීපයක් රඟන බව
ඔබ දන්නවා.

ඔබේ භූමිකාව කුමක්ද?

1 comment:

  1. පළමුවෙන්
    මුණගැසුනු මොහොතේ සිට
    සති කිහිපයක් තුළ
    රිද්ම සංකලනය
    එකහුස්මටකියවාගෙනගියා.

    සමහර ලිපි
    හෙමි
    හෙමින්
    ආයෙ
    ආයෙත්
    කියෙව්වා.

    අලුත් දෙයක් ඉගනගැනීම සඳහා
    අප තුළ
    කවදත් තිබුණු පිපාසය
    එයින් සංසිදුනා පමණක් නොවෙයි
    රිද්ම සංකලනයෙන්
    ලද රසවින්දනය ද
    බොහෝමයි.

    කොතරම් උනන්දුවෙන්
    කියවූවද
    ඡායාරූපකරණයට
    ආධුනික වූ නිසාවෙන්ම
    ඇතැම් විට ගොඩක් දේවල්

    මගහැරෙන්නත්

    ඇති.

    ‍රිද්ම සංකලනය
    මේ විදිහට
    තාවකාලිකව හරි
    ඉවර
    වෙද්දි.

    දැනෙන්නෙ
    කනගාටුවක්.

    තවදුරටත් රිද්මසංකලනයට
    (අන්තර්ජාලයේ සෙසු වැඩවලට වඩා!)
    වැඩිමනත්
    අවධානය යොමු කරමින්
    එය
    සාරවත් ලිපිවලින්
    පොහොණි කරන ලෙස
    ඉල්ලා සිටිමි.

    ReplyDelete