20140403

ඡායාරූප තරඟ




තරඟයක් පිළිබඳ විස්තර ටිකක්
හිතවතෙක් පුද්ගලිකව එවා තිබුණා.
මේ ඔහුට මා ලියූ පිළිතුරයි.
----------------------------------------------
ස්තූතියි.. ඔබට,
තරඟ හෝ තරඟ ප්‍රතිඵල ගැන
මා උනන්දු නොවෙන බව ඔබ දැක ඇති.

නවකයෙකුගේ ඡායාරූපයක් තරම්වත්
තරඟ ජයග්‍රහණයක් පිළිබඳ
වාචික තොරතුරක් මට වටින්නේ නැහැ,.

පුද්ගලිකවත්
මට කිසිම ක්ෂේත්‍රයක
තරඟකාරී මානසිකත්වයක් නැහැ.
වෙනත් කෙනෙකුට හරියි කියල
ඔවුන් හිතන දේ අනුමාන කරමින්
ඔවුන් බලාපොරොත්තු වෙන දේ කරල
දිනුවාම සතුටක් ලැබුණත්
ඒ මම නොවෙයි නේද.?

ඕනම තරඟයක ඉන්නෙ
විනිසුරුවන්ගෙ සහ රසිකයන්ගෙ වහලෙක්.

දිනන්නට නොසිතා
තරඟ වලට ඉදිරිපත් වුණොත්
ඔබ කරන්නට සිතන
නව නිර්මාණ කරන්නට
යම් පෙරහුරුවක් නම් ලැබේවි.

ඒත් තරඟයකට ඉදිරිපත් කරන ඡායාරූපයක්
ඔබේ ස්වාධීන නිර්මාණයක් නොවෙයි.

කිසියම් ප්‍රේක්ෂකයන් පිරිසක්
අරමුණු කරගෙන කරන
කිසිම නිර්මාණයක් ස්වාධීන නැහැ.

මම ඡායාරූපයට නගන්නෙ
මම රස විඳින දේ.
මගේ ඡායාරූප හැම එකක්ම හොඳ නොවෙන්නත්
පුලුල් පරාසයක විවිධත්වයටත් හේතුව එයයි.
අනික් අය රස විඳින්නෙ මොනවද කියල
හොඳින් හැදෑරුවත්
ඔවුන් පිරිසකට සේවය කරන්නෙ නැහැ.
කැමති කෙනෙකුට
රස විඳින්න හවුල් වෙන්න පුලුවන්.
ඔවුන් කවුද කියල පූර්ව නිගමන මට නැහැ.
කෙනෙක් ඒක හෙළා දැක්කත්
එය ඔහුගෙ ප්‍රතිචාරය ලෙස පිළිගන්නවා.

මගේ යම් ඡායාරූපයකට
පැය විසිහතරක් තුළ ලයික් දාහක් වැටුණත්
ඒ ඡායාරූපය
අමුතු විශේෂ ඡායාරූපයක් වෙන්නෙ නැහැ.
ඒ ඡායාරූපය රස වින්ද පිරිස විශේෂයි.
ජීවිතයේ එක වරක් එක වේදිකාවක
අපි මුණ ගැහුණා කියන්න පුලුවන්.
ඒත් ඔවුන් අතර
මතු කවදාවත්ම
නැවත මගේ ඡායාරූපයක්
අගය නොකරන අයත් ඇති.
ඔවුන් රැකගන්නට,
බැඳ තබා ගන්නට වෙහෙසීම
ඔවුන් සතුටු කරන්නට ඡායාරූප ගැනීම
නිරර්ථක වෑයමක්...

නිතර නිතර ඡායාරූප ගත කරද්දි
ඉගෙනගන්නට ලැබෙන අලුත් රීති නිසා
ආකල්පවල වෙනසක් වුණොත් විනා
ජාත්‍යන්තර ඡායාරූප තරඟයකින් දිනුවත්
මගේ ඡායාරූප පිළිබඳව
මා දරන ආකල්පවල වෙනසක් වෙන්නෙ නැහැ.

මට නොපෙනුන වටිනාකමක් හෝ අඩුපාඩුවක්
නවකයෙක් හෝ රසිකයෙක් වුණත්
කරුණු සහිතව පෙන්වා දුන්නොත්..
එම කරුණු නිවැරදියි කියලත් පැහැදිලි නම්
මගේ ආකල්පය ඉබේම වෙනස් වෙනවා.

දක්ෂ ප්‍රවීණයෙකුගෙ අපූර්ව නිර්මාණයකින්
දක්ෂ නවකයෙකුගෙ විශ්මිත නිර්මාණයකින්
මගේ ආකල්ප පැහැදිලි ලෙස වෙනස් වෙනවා.

තරඟ ප්‍රතිඵලයකින්
විශාල ලයික් සංඛ්‍යාවකින්
අපේ ඡායාරූප වලට
අමුතු වටිනාකමක් ලැබෙන්නෙ නැහැ.
ඒ ප්‍රතිඵලය නිසා
අපේ හැකියාව දියුණු වෙන්නෙත් නැහැ.

ඡායාරූපයකට ලැබෙන පිළිගැනීම
නිහතමානී කෙනෙකුට
නාඳුනන කෙනෙකුගෙ සුහද මදහසක් මෙන්
සිත සැහැල්ලු කරන මිහිරක්.

මාන්නාධික කෙනෙකුට නම්
ඡායාරූපයකට ලැබෙන පිළිගැනීම
ඔලුව තව ටිකක් ලොකුවෙන එන්නතක්.

වැරදි විදියට ඒ ප්‍රතිචාරය වින්දොත්
ඒ පිළිගැනීම අපේ ජීවිතයට ඇමිණූ
අනවශ්‍ය බරක් වෙනවා.

එවැන්නන් තමන්ගේ ක්ෂේත්‍රයෙ පිරිහෙනකොට
අන්තිමට ගිහින් නවතින්නෙ දේශපාලනයෙයි.

ඡායාරූපයක් ගැන කරදර වෙනවා නම්
කරදර වියයුත්තෙ මීළඟ ඡායාරූපය ගැනයි.

මෙතෙක් ගත් ඡායාරූප
හැදෙන ගහක පත්‍ර වගෙයි.
මෝරලා ඉදිලා හෝ අකලට හදිසියේ වැටුණ
පත්‍ර විතරයි.

නව දලු ලන්නට ඇති කාලය
හැලුන පත්‍ර මහිමාන්විත කරන්නට ගතකිරීම
නාස්තියක් මෙන්ම,
අනවශ්‍ය මානසික වෙහෙසක්.

එහෙත් ඔබ මා මෙන් සිතිය යුතු නැහැ.

ඔබට තරඟකාරී මානසිකත්වයක් ඇත්නම්
මගේ වචන බැහැර කොට ඔබේ ගමන යන්න..

ජයග්‍රහණයෙන් උද්දාම නොවී
ඔබ දන්නා හඳුනන අයගේ වෙනස් වීම්
නිරීක්ෂණය කරන්න.
ඔබත් ඔවුනුත් වැඩි වැඩියෙන් හඳුනාගන්න..
ඔබට සුබ පතනවා.

No comments:

Post a Comment