20131004

සේයාරූ විචාරණ 01





අත් දෙකේ රළු, සියුමැළි බව, අඳුරු, පැහැපත් බව..
ලොකු කුඩා බව ආදී හැම දේකින්ම පසන්ගෙ ප්‍රකාශනය තීව් ර වෙනවා.

By Pasan Senevirathne
නිල් වර්ණය නොතිබුණා නම් කියලත් හිතන්න පුලුවන්.
වර්ණ ඡායාරූපයක් කියල බලන්න
ඒක ආධාර වෙනවා.
යාන්ත්‍රික ගතියත් අඩුවෙනවා.
යන්ත්‍ර වලට වරදින්නෙ නැහැ.

පසන්ගෙ ගමන පසන් යන විදිය අනුව
බොහෝ දුර ගමනක් යන්න,
හැකියාව තියන බව පෙනෙනවා.
මුදලට, ගැහැණුන්ට, මත්පැනට,
ප්‍රතිරූපයට වහල් නොවී
පිරිසිදුව, නිහතමානීව ඉදිරියට ගියොත්
වැදගත්, කල් පවතින යමක් කරන්නත්
හැකියාව තියන බව පෙනෙනවා.

හැම අතින්ම රිද්ම සංකලනය,
දර්ශනයක්, ප්‍රකාශනයක් සමග
ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන්ගෙ
දකින්න ලැබෙන සංයමය...
සිතේ සමාහිත බව
වරින් වර මතු වෙලා පෙනෙනවා.
මෙසේ මතුවෙන වාර ගණන වැඩි වෙන කොට
පසන්ගෙ පදනම ස්ථාවර වෙයි.

පසන්ගෙ ගමනට සුබ පතනවා.



 Photo by Imal madhusanka
1. පිළිමය ඇත්ත කෙනෙක් කියලා රැවටුණා..
එතරම්ම සජීවීයි.

2, ඉරියව්ව ප්‍රාණවත්...සැහැල්ලුයි..
ඒත් .........
අවදානමට සූදානම දැනෙනවා...

3, වළාකුලේ රංගනය, වර්ණ සහ ත්‍රිමාණ බව
ඉතා විශාල Contrast එකක් තිබුණත්
මනාව ගැලපෙනවා.

4, සියල්ලටම වඩා මා සිත් ඇදගත්තේ
ඔහු අවි දැරුවත් හිංසාකාරී නොවන බව
සංකේතවත් කරන්නට මෙන්
කුරුල්ලන් නිර්භයව අවට ගැවසීමයි.

5. සම්පිණ්ඩණයත් ඉතා ඉහළයි

පිළිමයක හොඳ ඡායාරූපයක් ගන්නට,
පිළිමයක සජීවී බව ග්‍රහණය කරගන්නට
ඔබට හැකි වන්නේ..
ඔබ පිළිමය සජීවී කෙනෙකු ලෙස වින්දොත් පමණයි.

ඒ හැකියාවටත් ගරු කරනවා.
ඔබට හොඳ අනාගතයක් ඇති බව කිව හැකියි.
================================================
මේ සජීවී බව
මූර්හි ශිල්පියා විසින්
පිලිමයට කවන ලද
පිළිමයෙහිම අන්තර්ගත ලක්ෂණයක් බව
කෙනෙක් කියන්නට පුළුවන්.
මේ පිළිමයම
ඡායාරූප ගත කර බලන්න.

පිළිමයක සජීවී බව ග්‍රහණය කරගන්නට
ඡායාරූප ශිල්පියාට හැකි වන්නේ..
ඔහු පිළිමය සජීවී කෙනෙකු ලෙස වින්දොත් පමණයි.



 ඉමාල්ගේම තවත් ඡායාරූපයක්..
වෙනස ඉතාම පැහැදිලියි.

ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස
ඔබ දන්නා පිළිම
සජීවී ලෙස පෙනෙන පරිදි
විවිධ කෝණ වලින්
ඡායාරූප ගත කර බලන්න.

==========================================================

Photo by Lukshan Malintha..

The Art Gallery
2014 May මීගමු ක්ෂේත්‍ර චාරිකාවෙ පමණක් නොවෙයි...
මෙතෙක් ආර්ට් ගැලරිය ඇතුළු සමූහ තුළ මා දුටු ඡායාරූප අතරින්
වඩාත්ම තියුණු හැඟීමක් ඇති කළ
ඡායාරූපයයි මේ.

වර්ණ, රේඛා, හැඩතල, හැඟීම, ඉරියව්ව...
හැම දෙයක්ම සුසංගත වෙලා...
එකම ඉලක්කයකට යන
ඊතල පෙළක් වගෙයි..

ලෝකෙ ඉන්න සොඳුරුම යුවතිය
මොන ආකාරයෙන් ඡායාරූප ගත කළත්
ජීවිතය ගත කිරීමෙන්ම පදම්වූ
මෙවැනි කාෂ්ඨක චරිතයක් දනවන හැඟීම
දනවන්න පුලුවන් වෙන්නෙ නැහැ.

ලක්ෂාන් Portrait පිළිබඳව
විශේෂ උනන්දුවක් දැක්වීම
ඉතාම සුදුසුයි කියා මා හිතනවා.

=================================================================

ස්ටීව් මැක්කරිගෙ ප්‍රබල ඡායාරූප

ඡායාරූපයක
පසුබිමත් අරමුණත් අතර
රංගනයක්, ඉඟි නළුවක් සොයන්න.

One above By Raghu Rai of India.



==================================================================

ඉතාම සුන්දර ලෙසත්, ගැලපෙන ලෙසත්
රීතියක් බිඳපු ඡායාරූපයක්.

http://onebigphoto.com/walking-in-the-rain-istanbul-turkey/
ඇවිදගෙන යන කෙනෙකුගෙ ගමන දැනෙන්න නම්
ඔහු තුනෙන් එකේ රීතියට ස්ථානගත කළ යුතුයි.

මෙලෙස මැදට වෙන්න
ස්ථානගත කිරීමෙන්
ඔහු නැවතී සිටින බවක්
හැඟෙනවා.

ඒත් මේ ඡායාරූපයේ තිබෙන
අසීමිත නිසල ගතියට එය ආධාරකයක්.

මුළු ඡායාරූපයේම ප්‍රධාන අරමුණ
ඡායාරූපයේ සමස්ත හැඟීමට
බාධාවක් නොවෙන සේ ස්ථානගත කිරීම
ආදර්ශයට ගත යුතු විශේෂත්වයක්.



=============================================================

සිනමා පටයක දර්ශනයක් වගෙයි.
ඉතා හොඳින් තීරණාත්මක මොහොත
හසු කරගෙන තියනවා.
මෙහි වර්ණත් සම්පිණ්ඩණයත් ඉතාම විශිෂ්ඨයි.
පෙරහැරවල්වල ගත් ඡායාරූප අතර
මුල් තැනකට එන ඡායාරූපයක්.
Photo by Pasan Senevirathne
දකුණු පැත්තට ඉඩ තිව්වොත්
මෙ ගැස්සිලා වගේ හැරිල බලන ගතිය
අඩු වෙන්න ඉඩ තිබුණා.
මේ ස්ථාන ගත කිරීම
දියුණු කරන්න ඉඩක් නැහැ කියල හිතෙන
ඉතා හොඳ ස්ථාන ගත කිරීමක්.

අපි සමබර කරනවා කියන්නෙ
ඡායාරූපයක් නිශ්චල කිරීම කියල
හිතන නමුත් ඒක වැරදියි.
ඡායාරූපයෙන් මතු වෙන හැඟීම
හැකි තරම් තීව්‍ර කිරීමටයි
උත්සාහ කළ යුතු.
ක්‍රියාවක් තියනවා නම්
ඒක දැනෙන්න සැලැස්විය යුතුයි.

අරමුණ බලා ඉන්න පැත්තෙ
වැඩියෙන් ඉඩ තිබිය යුතුයි
කියන රීතිය මේ තියන විදියට යොදන්න බැහැ.
ඒත් ඒ රීතිය
මෙහි යෙදිලා තියනවා.
ඒ යෙදිලා තියෙන්නෙ
ඔහුගෙ සිරුර හැරිලා තියන පැත්තෙ
වැඩියෙන් ඉඩ තිබීමෙන්.


පසු බිමෙහි කහ රතු තිබීමත්
අරමුණ සමබර වෙන්න හේතුවක්.

ළමයා අතේ තියාගෙන ඉන්න ලීය නිසා
ඇඟට වැටෙන සෙවනැල්ල
 ඉවත් කරල බලන්න.
ඇඟ විවෘත වෙනවා.
සෙවනැල්ල නිසා ඒ පදාසය කුඩා වෙලා
මුහුණෙ හැඟීම වැඩි වෙන්න ආධාර වෙනවා.

කහ රතු රටාව



====================================================

මෑතක දැකපු
ඉතාම හොඳ සහ
අපූර්ව ඡායාරූපයක්.


 මෙහි වර්ණ රටා හැඩතල ආදියෙ
සෞම්‍ය රිද්මය හැරුණාම
දොර ළඟ ඉන්න ළමයගෙ ඉරියව්ව සහ
ඉහළ චිත්‍රයෙ දෙන්නගෙ ඉරියව සමග ඇති
රිද්මයානුකූල සමාන බවත්
බුදු පිළිමයෙ උඩ කොටසට එළිය වැටී
බුදු පිළිමයෙ අවශ්‍යම කොටස මතුවීමත්
සුවිශේෂයි.
දැඩි ආලෝකයෙන්
පහළ දකුණු කෙළවර බොඳවීමත්
අපූර්ව බවට හා රිද්මයට සහායක්..

---------------------------------------------------------

ප්‍රියන්තගෙ ඇස සුවිශේෂයි.

මම මෙතෙක් දැකපු
ඔබේ හැම ඡායාරූපයකම
ඒ විශේෂත්වය අඩු වැඩිව තිබුණා.

මම ඔබේ දකින විශේෂත්වය තමයි
ඡායාරූපය සමස්තයක් ලෙස සැලකීම.

ඒක දකින්න ඇත්තෙම නැති විශේෂත්වයක්..

හැම කෙනෙක්ම වගේ
ඡායාරූපයෙ එක අරමුණක් බලාගෙන
අනික් හැම දෙයක්ම ඊට බාධාවක් කියල
හිතන ස්වභාවයක් අපි දකිනවා.
ඔබ සියළු දේ ඔබට රිසි පරිදි
යොදා ගන්නවා.

සමහර අය
ජීවිත කාලයක් තිස්සෙ ඡායාරූප ගත්තත්
මේ පුළුල් දැක්ම මෝරන්නෙ නැහැ.
ඒ දැක්ම මෝරන තාක්
ඔහු හොඳ ඡායාරූප ශිල්පියෙක් නෙමෙයි.
ඡායාරූප ශිල්පය ඔහුට ලබාදෙන
අමුතු තෘප්තියකුත් නැහැ.

ඒ අතින් ඔබ ඉතා වාසනාවන්තයි.

මේ දැක්ම රැකගන්න.. පෝෂණය කරන්න.




 ===============================================================================================================================



Shanaka Kulathungaගෙ මේ ඡායාරූපය 
හේතු කිහිපයක් මත අති විශිෂ්ඨ සම්පිණ්ඩණයක්...
   
ඔහු චිත්‍ර කලාව හැදෑරූ චිත්‍ර ශිල්පියෙක්..

මේ ඡායාරූපයට රීති කිහිපයක්ම
හොඳින් උපයෝගී වෙලා තියනවා.

 1
 ප්‍රධාන හැඩතල දෙක අතර අනුපාතය
දෙකට තුන වගේ ප්‍රියජනක අනුපාතයක්.

2
S වක්‍රය උපයෝගී වෙලා.

S වක්‍රය
දෘශ්‍ය කලාවේ
ඉතාම ජනප්‍රිය සම්පිණ්ඩණ රටාවකි.

S වක්‍රය සහිත රූප සිත් ඇදගන්නා සුළුය.

සරල රේඛාවක්
එහි යාන්ත්‍රික බවෙන්
මදක් මිදෙන්නේ
එය කවයක් වූ විටය.

S වක්‍රය
එහි ඉතාම සරල
වඩාත්ම රිද්මයානුකූල අවස්ථාවයි.

S වක්‍රය මගින්
අපේ සිතෙහි ජනිත කරන ලාලිත්‍යයට
අපි ප්‍රිය කරන්නෙමු
http://farm8.staticflickr.com/7010/6703638113_5c9eaba152_z.jpg


3
බෝට්ටුවත් කඹයත්
ලස්සණට ස්ථානගත වෙලා තියනවා.
බෝට්ටුවෙන් S වක්‍රය කැපිලා.
කඹය සහ බිම තියන කඩතොළු නිසා
දෙවෙනි විශාල හැඩය මතුවීම අඩුවෙනවා.
4
මිනිසුන්ගෙන් බෝට්ටුව ආවරණය වීමේදී
ආවරණයත් බෝට්ටුවෙන් තුනෙන් එකක ප්‍රමාණයෙ.
මිනිසුන් තිදෙනෙක් වීමත්, එක්කෙනෙක් මතු වීමත්..
ඔහු ක්‍රියාකාරී වීමත් විශේෂයි.

මිනිසුන් හා බෝට්ටුව විතරක් බැලුවත්
ස්ථානගත කිරීම ඉතාම විශිෂ්ඨයි.

 5
ස්පර්ශක දෝෂ වලින් තොරව මිනිසුන්ගෙන් සහ
බෝට්ටුවෙන් S වක්‍රය කැපිලා තියනවා.

මේ දර්ශනය මීට වඩා හොඳින්
ස්ථාන ගත කොට සම්පිණ්ඩණය කළ නොහැකියයි
සිතෙන තරමට අංග සම්පූර්ණයි.




 ================================================================


Photo by Steve McCurry

මේ ඡායාරූපයෙ තියන බිම ඉහුණ කහපාට
ඡායාරූපයෙ සුන්දරත්වයට බලපානවා.

චිත්‍ර අඳිනකොට
මේ විදියට අරමුණ පසු බිම සමග සම්බන්ධ කරන්න
අරමුණේ වර්ණ පසුබිමට යොදනවා.

සැබෑ ලෝකයෙත් එවැනි
පරාවර්තිත වර්ණාලෝක
දකින්න පුලුවන්.

පහළ ඡායාරූපයෙ
ඒ වර්ණ පදාසය කළු කලාම
ඡායාරූපයෙ ලොකු වෙනසක් වෙනවා.

මෝටර් රියත් සමග ඒ කහ පදාසය විසින්
පිළිමයට ලබා දුන්න හතරැස් හැඩැති
කහපාට පසුබිම
මෝටර් රියට තනිව ලබා දෙන්න බැහැ.

බලෙන් තියපු ආගන්තුක දෙයක් වගේ
පිළිමය අනවශ්‍ය විදියට මතුවෙනවා.
-------------------------------------------------------------

පසුබිමේ කහපාට සපුරාම ඉවත් කළොත්...



නර්තනයකදි
ප්‍රධාන නර්තන ශිල්පියාත්
නර්තන කණ්ඩායමත් අතර
මනා සහ සම්බන්ධය වගේ
ඡායාරූපයක අරමුණත්
පසුබිමත් අතර සම්බන්ධය
ඡායාරූපයකට බෙහෙවින් බලපාන බවට
හොඳ උදාහරණයක් මේ.

ඒත් වර්ණය කියන්නෙ
සාධක රැසකින්
එක් සාධකයක් විතරයි.

අනිත් සාධකත්
මේ වගේ බලපානවා
 ===============================================================

 
ඉගෙන ගන්න කරුණු කිහිපයක්ම තියන
ඉතා හොඳ රිද්ම සංකලනයකින් යුතු
විශිෂ්ඨ ඡායාරූපයක්.

 1, රෝෂනගේ මුල් ඡායාරූපය
ඉතා සරල එහෙත් ප්‍රබල සම්පිණ්ඩණයක්.

කොකා බලා ඉන්න දිසාව
හොඳින් විවෘත වී තිබීමත්
කොකා ස්ථානගත වී ඇති ආකාරයත්
රාමුවට බෙහෙවින් උචිතයි.

2, වර්ණ සංකලනය..

වර්ණ ප්‍රමාණය සීමිතයි.
කහ නිල් සහ එහි මිශ්‍රණය වූ

කොළ පාට හැරෙන්නට
කලු හා සුදු පමණක් තියනවා.
එකිනෙකට ප්‍රති විරුද්ධ කහ සහ නිල්
රිද්මයානුකූල අනුපාතයකට
යෙදී තියනවා.
කහ වර්ණය යෙදී ඇති රටාව
එහි මුදුනේ ඉන්න
කොකාට යොමු වෙනවා..
පෙරබිමේ ලෑලි
පොල් අතු සෙවනැලි වලින්
මඳ වශයෙන් අඳුරු වී තිබීම
ඒ ලෑලි අනවශ්‍ය ලෙස මතුවෙන්න තිබුණ
අවස්ථාව වළක්වලා තියනවා



 3, හැඩතල සම්පිණ්ඩණය

මෙහි හැඩතලත් ඉතාම සුන්දරයි.
ප්‍රධාන කලු හැඩතලය
මුලු රාමුවෙන් සියයට 35ක් පමණ වීම

මෙහි රිද්මය සුන්දර වීමට එක් හේතුවක්.
ඒ වගේම එම හැඩය
සමග ගැටෙන කිසිවක් පසු බිමේ නැහැ.
ලෑලි අක්‍රමවත් රිද්මයකට සවි වී තියනවා.
වඩාත්ම ඇහැ දුවන විශාල ලෑල්ල
කොකාට පිටුපසින් තිබීම
කොකා අනිවාර්යයෙන් දකින්නටත්
එක්වරම නොදකින්නටත් හේතුවක්..
ඒ දෙකම හොඳ නාට්‍යමය ගුණ..
වමේ තියන B උප ප්‍රධාන කණුවත්
එලියට යන ඇහැ රාමුව තුළට යොමු කරනවා.
ඒ වගේම එයින් 

නිල් පාට පදාසය මතුවීම වළක්වනවා.
මේ සියල්ලෙන්ම පෙනෙන
බිඳුණු ඇලවුණ ඔරුවක ස්වභාවය
කොකාගේ තනිකම ප්‍රබලව දැනෙන්න
ආධාරකයක් වෙනවා.



4, ප්‍රධාන රේඛා

ලෑලි වලට යටින් දිවෙන
ඔරුවේ ප්‍රධාන රේඛා
කොකා දෙසට යොමු වීමත්

විශාල ලෑල්ලෙන් යළි කොකා දෙසට
හැරවීමකුත් සිදු වෙනවා.
කොළ පාටෙන් පෙනෙන කොටස් නිසා
නිල් පාට පදාසය මතුවීම වළක්වනවා.



==================================================

ස්ටීව් මැක්කරි වගේ ඡායාරූපශිල්පීන්
එක ඡායාරූපයකට
චිත්‍රයක් අඳින්න වගේ කාලයක් ගත කරනවා.

National Geographic සඟරාවට
පූර්ණිමා අබේරත්නගෙ
ඡායාරූපයක් ගන්න
ස්ටීව් පැය හතරක් ගත කරලා....
"මෙත්තා,.....
මහල මහල අත කැඩුණා"
කියල පූර්ණිමා මෙත්තසේන එක්ක කිව්වලු.

=============================================================
"මචන් මාර ලස්සනයි,
කොහෙද මේ තැන තියෙන්නේ
මට පුලුවන්නම් හරියටම තැන කියනවද?
"
ප්‍රියන්ත බණ්ඩාරගෙ මේ පින්තූරෙ දැකපු රසිකයෙක් කිව්වා..


මේ තැන ලස්සණයි කියල
හිතෙන එක වැරදීමක්...

මේ ඡායාරූපයයි ලස්සණ.


මේ මීදුමෙන් වැහුණ පසුබිම
මෙහි වර්ණ, හැඩතල ආදිය
ප්‍රියජනක විදියට
සංකලනය වීම නිසයි
මේ තැන ලස්සණට පෙනෙන්නෙ.
පඳුරෙ කහපාට
අවට පරිසරයට
විහිදිලා තියන විදියත්
ලස්සණට එක හේතුවක්...

මේ කහපාට පඳුර දුඹුරුපාට
වේලුණ පඳුරක් වුණා නම්
මෙහි දකින ලස්සණ හුඟක් වෙනස් වෙයි.

 
මේ තැන ලස්සණයි කියල දැනෙන්නෙ
ප්‍රියන්තගෙ දක්ෂකම සහ
සඥතාවය නිසයි..

====================================================

Photo by Isuru Sandeepa 
මේ  තියෙන්නෙ ඉසුරුගෙ මුල් රූපය..

ඉතාම හොඳ ඡායාරූපයක් වීමට
අඩුවක් වශයෙන් මම දකින්නෙ
මේ හාමුදුරුවන්ගෙ ඉරියව්වෙ තියන ගැම්ම
ඡායාරූපයෙ ස්ථානගත වීමෙන්
යම් පමණකට උද්දීපනය වුණාට
ඒ ඉරියව්වෙ අධිකාරිත්වය
රාමුව වසා පැතිර ගිහින් නැහැ.
පහළ තියෙන්නෙ රළු සංස්කරණයක්..

මෙවැනි ප්‍රබල ඉරියව්වක් දැනෙන්න
අරමුණ රාමුවෙන් තුනෙන් එකකට ආසන්නව
තියෙන්න ඕනෙ.

අරමුණ සිතිජයෙන් ඉහළට එසවීමත් බලපානවා.




========================================================

ඝන වස්තුව හා අවකාශය අතර අනුපාතය
නොසලකා හොඳ සම්පිණ්ඩණයක් කරන්න බැහැ,

වස්තූන් කිහිපයක් වෙනකොට
අවශ්‍යතාවය තව සංකීර්ණ වෙනවා.  
  තියෙන දේ මොකක්ද නොසලකා
හැඩතල ඡායාරූපගත කළ යුතුයි.

රිද්මය මතු කරගන්න
ආලෝකය අඳුර, වර්ණ, ආදියෙත්
රිද්මය මේ වගේම දකින්න
හුරු විය යුතුයි.

සම්භාව්‍ය ඡායාරූප වල
මේ ලක්ෂණ සෙවිය යුතුයි...
නිතරම ඡායාරූප ගන්න.
රිද්මය සඳහාම ඡායාරූප ගත යුතුයි.

කැමරාව මුස්නක්, මිටියක්,
අඬුවක් වගේ සැහැල්ලුවෙන්
පාවිච්චි කළ යුතුයි.
අවට සෙලවෙන දෙයක් දැක්කම
හැරිල බලනව වගේ සැහැල්ලුවෙන්
ඡායාරූප ගන්න හුරු වෙන තුරු
ඡායාරූප ගත යුතුයි..
---------------------------------------------------------------------------------
ඡායාරූපය Binara Sampathgenගෙන්



පහළ ඇති මුල් ඡායාරූපයෙ පෙනෙන විදියට
ඔරුවෙ ගමනක් තියනවා.
ඒ ගමන දැනෙන්න සලස්වන්න
අපට අවශ්‍ය නම්
ඔරුව හිරුටත් රාමුවටත් සාපේක්ෂව
ස්ථානගත කළ යුතු පෙදෙසක් තියනවා.

මෙහි හිරුට සාපේක්ෂ ස්ථානගත කිරීම නිවැරදියි.
රාමුවට සාපේක්ෂව ස්ථානගත කළ යුතුයි.

========================================================

Photo by Nimalsiri Jayasena

මෙහෙම තැනක
සැපට නිදන්න පුලුවන් කෙනෙක්
සමස්තයක් වශයෙන්
දුක් විඳින ප්‍රමාණය අඩුයි..

අපේ දරුවො
පොඩි ප්ලාස්ටික් පුටුවෙ නිදාගත්තාම
අපි එහෙමම ඉන්න ඇරලා
වටේට කොට්ට ටිකක් තියනවා.
ඔවුන්ට ඕනම තැනක නිදාගන්න පුලුවන්..

ඔබ දුක් වෙන්න ඕනෙ විල්ලුද මත
සුවසේ නිදාගන්න සුර කුමරුවන් ගැනයි.
ඔවුන්ට දුම්රියක බස්රියක යන්න වුණත්
අපායට ගියා වගෙයි..
සමස්තයක් වශයෙන්
ඔවුන් දුක් විඳින ප්‍රමාණය වැඩියි..

මිනිස්සු විඳින දුක්
ඔවුන් විඳින සැපට සාපේක්ෂයි..
ඔබ ඔහු දිහා බලද්දි
ඔබට දැනෙන දුකෙන් සීයෙන් පංගුවක්
මෙතන නිදාගනිද්දි
ඔහු විඳින්නෙ නැතුව ඇති.

ලොකු සැප විඳින අය
පොඩි දුකක් ඇති වුණත්
සිය දිවි නසාගන්න තරම් හිතනවා.

දුක්ඛිත ජීවිත ගතකරන අයට
අල්පේච්ඡ ජීවිතයක තියන
සැප විඳිනවා.

කායික දුක
අදාළ තැනට විතරයි..
මානසික දුකෙන්
සමස්ත පුද්ගලයාම
අකර්මණ්‍ය වෙනවා.

මම මේ පුද්ගලයා දකින්නෙ
ජීවිතය තදින් අල්ලා නොගෙන
සැහැල්ලුවෙන්, සැනසිල්ලෙන් ජීවත් වෙන
වාසනාවන්තයෙක් විදියටයි.
-------------------------------------------
අමතර කතා නිසා
ඡායාරූපය මග හැරුණා..

හොඳ ඡායාරූපයක්..
ස්ටීව් මැක්කරිගෙ වර්ගයේ
ප්‍රබල කෙටිකතාවක්.
-----------------------------------------------------------------

No comments:

Post a Comment