20140408

මගේ ඡායාරූපකරණය


https://www.facebook.com/photo.php?fbid=10201545724391676&set=gm.222659281257927&type=1
මගේ ඡායාරූපකරණය
වෘත්තියක් හෝ
විනෝදාංශයක් නොවෙයි.
මගේ හැම ඡායාරූපයක්ම
අභ්‍යාසයක්.

මගේ ඡායාරූප යොමුවන්නේ
පොදු රසිකයා හෝ
ප්‍රවීණ ඡායාරූප ශිල්පියා වෙත නොවෙයි.
මා මෙන්ම හැදෑරීමක් ලෙස
ඡායාරූප කරණයෙහි යෙදෙන
නවක ඡායාරූප ශිල්පියා
පර්යේෂණයට පොළඹවන්නට
උත්තේජනයක් ලෙසයි.

තෝරාගෙන ඡායාරූප පළකරන අයගේ
පළකිරීම් බොහෝ විට එකාකාරීයි.
ඔවුන් පර්යේෂණ වලට බයයි.

එකම තැනක එකම දේක
විශාල ඡායාරූප සංඛ්‍යාවක් ගත්තොත්
මාත් පළ කරන්නේ එකක් තමයි.
ඒත් එතන ඉඳන් වටපිට බලලා
මම විවිධ ඡායාරූප
දහයක් පහළොවක් ගන්න ඉඩ තියනවා.
සංඛ්‍යාත්මකව බැලුවොත්
විවිධත්වය වැඩිම
මගේ ඡායාරූප වෙන්න පුලුවන්.
ඉහළම මට්ටමේ ඡායාරූප
කිහිපයක් පළ කරනවාට වඩා
සාමාන්‍ය මට්ටමේ ඡායාරූප
සියගාණක් පළ කරන්න මා කැමතියි.
චමින්දගේ රුචිය අනුව
ඔහු පළකරන ක්‍රමය ඔහුට ප්‍රයෝජනවත්.
මා පළකරන ක්‍රමය මට කෙසේ වෙතත්
තවත් නවකයන් කිහිපදෙනෙකුටවත්
ප්‍රයෝජනවත් වෙතැයි
මා අනුමාන කරනවා.

කලක් ක්ශේත්‍රයේ රැඳී පදම්වූ පසු
නමක් හදාගන්නට
ප්‍රතිරූපයක් හදාගන්නට වෙහෙසෙන
වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්
අනුගමනය කරන ක්‍රියා කලාපය
නවකයෙකුට වඩා බෙහෙවින් වෙනස්.
ඔහු දාහක් ගත්තත්
තෝරාගන්නේ
තමන්ගේ ප්‍රතිරූපය ඔප වැටෙන
ඡායාරූප කිහිපයක් පමණයි.

එසේ තෝරා බේරාගෙන පළ කරන ඡායාරූප
එකාකාරී වෙන්නත් පුලුවන්.

නවකයෙක් ඒ වගේ හිතන්න පෙළඹුණොත්
ඔහුගෙ අනාගතය අඳුරුයි.

ජීවිතයේ හැම දේකදිම
මම මැරෙන තුරුම හැසිරෙන්නේ
නවකයෙකුගේ මානසිකත්වයෙන්.
නවකයෙකුට ස්වයං විවේචනයට වඩා
බැහැරින් එන විවේචනය වටිනවා.
බොහෝ නවකයින් විසින්
ඉතාම හොඳ ඡායාරූප පිළිබඳව
හීනමානයෙන් පෙළෙන අවස්ථා
අපි දකිනවා.

ඔහුට තිබිය යුත්තේ කුතුහලයක්.
බලාපොරොත්තු නොවෙයි.

මෙහි දුර්වල ඡායාරූප පළ කරන කෙනෙක්
නොමග ගියොත් නොමග යන්නේ
ඔහුට අනුකම්පාවෙන් කරන
බොරු වර්ණනා මතයි.
නැත්නම් ඔහුට නිසි පිළිතුර ලැබෙනවා.

නවකයෙක් ලෙස හිතන නිසා
මා පළ කරන ඡායාරූප පිළිබඳව
මටත් කුතුහලයක් තියනවා.

මගේ ඡායාරූපයකට ලැබෙන
ලයික් ප්‍රමාණය මට අදාළ නැහැ.
පැහැදිලි හේතු මත කරන
අදහස් පළකිරීමක්..
ඒ ගැන අහන ප්‍රශ්නයක්
ලයික් දාහකට වඩා වටිනවා.

ලැබෙන ලයික් ප්‍රමාණය
ඡායාරූපයක අගය මනින්න
කිසි සේත් නුසුදුසු බව
Art Gallery
යෙහි අන් කිසිවෙකුටත් වඩා හොඳින්
මා දන්නවා.


පැය විසි හතරක් තුළ ලයික් දාහක් ලැබුණ මගේ ඡායාරූපය
කිසිදු ප්‍රවීණ ශිල්පියෙක් අගය නොකරනු ඇති.

එම ඡායාරූපයම කලකට පෙර
සාමාජිකත්වය දෙගුණයක් වන
Photo Talk සමූහයේ පළකල අවස්ථාවේ
ලයික් පණහක්වත් වැටුණා කියා
මා හිතන්නේ නැහැ.

ලයික් වැටීම ලොතරැයි දිනුමක් වගෙයි..
එය සාර්ථක මිම්මක් නොවෙයි.

රසිකයන් ඡායාරූප වලට කැමති වන්නේ
ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්
මනින මිමි වලින් මැනලා නොවෙයි.
ඔවුන් ඡායාරූපයකට කැමති වන්නේ
ඒ ඡායාරූපයෙන් ඔහුට ඇතිවෙන
හැඟීම අනුවයි.

තාක්ෂණික කරණම්, සම්පිණ්ඩණ කරණම්,ආදිය
රසිකයන් නොසලකන අවස්ථා මෙන්ම
ඒවා තුළ ගිලී අතරමං වෙන අවස්ථාත් තියනවා.

ෆේස්බුක් සමූහයක් කියන්නෙ ආයතනයක් නොවෙයි.
අවිනිශ්චිත පිරිසක් අවිනිශ්චිත ලෙස හැසිරෙන
බස්නැවතුම්පළක් වැනි තැනක්.

මෙවැනි තැනකින් නිශ්චිත දේ සොයන කෙනෙක්
මුළා වෙනවා පමණක් නොවෙයි..
නිකරුණේ ඉච්ඡා භංගත්වයටත් පත්වෙනවා.

1 comment:

  1. mama hithanawa mama den hari parata adiya thibba kiyala,godaaaak pin athula sir

    ReplyDelete