20121212

රිද්ම සංකලන අරමුණ

 රසවත් ආහාරයක් තැනීම ඉතා භාරදූර කාර්යයක්.

ආහාරයක රස ගුණ ගැන,
තනාගන්නා ක්‍රමය ගැන අවබෝධයක් නැති
රස විඳීමෙන්ම රස වින්දනය හුරු නැති
ආහාරයක රස ගුණ නොහඳුනන
නාමික කෝකියෙකුට
මොනවා තිබුණත්
රසවත් ආහාරයක් තනාගත නොහැකියි.

රසවත් ආහාරයක් හදන්න යන
දක්ෂ කෝකියෙක්,
සියල්ලටම පළමුව
ආහාරය රස විඳින්න බලා ඉන්න
රසිකයා පිළිබඳවත්
ඔහුගෙ රුචිය පිළිබඳවත් දන්නවා.
ඔහු රසිකයාට ගරු කරනවා.

ඒ සඳහා
අවශ්‍ය දේවල් කරන්නෙ
ඉතාම තෘප්තියකින්, සතුටකින්...විනෝදයෙන්.
සහ සැහැල්ලුවෙන්.

තමන් හදන්න යන්නෙ
මොන විදියෙ ආහාරයක්ද කියල
ඔහු හොඳින්ම දන්නවා.
එහි ගුණාගුණ දන්නවා.

ඒ සඳහා ඔහු ගත යුතු
මූලික ආහාර ද්‍රව්‍ය දන්නවා.
ගතයුතු ප්‍රමාණයන් නිවැරදිව දන්නවා.
අවශ්‍ය රසකාරක දන්නවා.
අනුපානය නිවැරදිව දන්නවා.
අහාරය තනාගන්නා ආකාරය
නිවැරදිව දන්නවා.
ආහාරය මේසයට ගෙනයන්නට
බඳුන සකසන විදිය දන්නවා.
මේසයට ඉදිරිපත් කරන ආකාරය දන්නවා.

ඔහු කිසි තැනක හිර වෙන්නෙ නැහැ.
ඔහු නිදහසේ තීරණ ගනිමින්,
තීරණ ක්‍රියාත්මක කරමින්
පියවරෙන් පියවරට රස බලමින්
ආහාරය රසවත්ව සකස් කරගන්නවා.

ඒ ආහාරය ඔහු තනාගන්නේ
දර ලිපකද, භූමිතෙල් ලිපකද,
ගෑස් ලිපකද යන්න බලපාන නමුත්
ඔහුගේ ආහාරයෙහි රස ගුණ
රඳා පවතින්නෙ කලින් කී කරුණු මත මිස
තනා ගන්නට උපයෝගී වෙන
ගෘහ උපකරණ මත නෙමෙයි.

කලාකෘතියක වුණත් රසගුණ රඳා පවතින්නෙ
තම කෘතිය ගැන නිර්මාණ කරුවාට ඇති
මනා අවබෝධය මතයි.

රවි ශංකර්ගේ සිතාරය,
බිතෝවන්ගේ පියානෝව,
ටොල්ස්ටෝයි, අකුතගාවා, ශේක්ස්පියර් වැන්නන්
පාවිච්චි කළ කඩදාසි හා තීන්ත වර්ග,
ඩා වින්චි, වැන් ගෝ, පිකාසෝ, ෆ්‍රැzසෙට්ටා වැන්නන්
පාවිච්චි කල කැන්වස් වර්ග හෝ සායම්වර්ග,
රායි, කුරොසාවා, බර්ග්මාන්, ස්පීල්බර්ග් වැන්නන්
පාවිච්චි කළ කැමරාව හෝ දළ සේයා පටය
රසිකයාට වැදගත් නැහැ.

ලෝකය මොන තරම් තාක්ෂණික අති දියුණු වූවත්
රවි ශංකර්, බිතෝවන් වැනි සංගීතඥයින්
යළි බිහිවුනේ නැහැ.
ටොල්ස්ටෝයි, අකුතගාවා, ශේක්ස්පියර් වැනි ලේඛකයින්
ඩා වින්චි, වැන් ගෝ, පිකාසෝ, ෆ්‍රැzසෙට්ටා වැනි සිත්තරුන්
රායි, කුරොසාවා, බර්ග්මාන්, වැනි සිනමා අධ්‍යක්ෂක වරුන්
යළි බිහිවූයේ නැහැ.

එහෙත් සියවසෙන් සිය වසට
ඔවුන් රස විඳිය හැකි පිරිසක්
හැමදාම ලෝකයේ බිහි වෙනවා.

එහෙම වෙන්නෙ ඔවුන්ගේ සම කාලීන
අනෙක් කලාකරුවන්ට වඩා
ඔවුන් රසඥතාවයෙන් සහ
මාධ්‍යය පිළිබඳ දැනුමෙන්
පෝෂිත වූ නිසායි.

සියවස් ගණන් ලොව පවතින කලාකෘති නිමැවූ
විශිශ්ඨ කලාකරුවන්ගේ කෘතීන් හරහා
අපි ඔවුන් හා සම්බන්ධ වෙනවා.
ඔවුන්ගේ රස වින්දන ශක්තියෙන්,
පරිකල්පන ශක්තියෙන්, චරිත ලක්ෂණ වලින්
අපේ ජීවිත පෝෂණය වෙනවා.

සියුම් රස නාඳුනන කෙනෙකුට
කෘතියක රසයෙන් කුල්මත් වීම තබා
කෘතියක් රස විඳින්නටවත් බැහැ.
ඔහුට කළ හැක්කේ කෝකියාට සහ
ආහාරයට දොස් නගමින්
තමාගේ පමණට ගොරෝසු රසඥතාවයක් ඇති
බාල කෝකියෙකුගේ ආහාරයක් සොයා යෑමයි.

රස දන්නා රසිකයින්
රස ගුණ ඇති කලා කෘතීන්
සිය වසෙන් සිය වසට
අතින් අත ගෙන යනවා.

කිසියම් කලා මාධ්‍යයක නිරත වෙන
එහි ඕනෑම තලයක ඉන්න කලා කරුවෙකුට
කලාකෘතියක් නිමැවීමේදී
මූලිකවම බලපාන්නේ
එම කෘතියේ රිද්මයයි.

කලා කරුවාත්, කලාකෘතියත්, සහෘද රසිකයාත්
එකතු කරගෙන ගලා යන
රස වින්දනයේ පොදු ධාරාව රිද්මයයි.

සාහිත‍ය කෘතියක වචන, ආකෘතිය, උපමා, රූපක ආදියත්
ගීතයක පදමාලාව, සංගීතය, තනුව, ගායනය ආදියත්
සිත්තමක, ඡායාරූපයක  වර්ණ හැඩතල ආදියත්,
සිනමා පටයක රංගනය, නාද රූපමාලාව, අධ්‍යක්ෂණය ආදියත්
එකිනෙක වෙලා බැඳ තබන්නේත්,
කෘතිය මගින් රස භාව මතු කරන්නේත්
එම කෘතියේ සමස්ත රිද්මයයි.

රසවත් කලාකෘතියක රිද්මය
සකස්කරන රසිකයා කලාකරුවාය.
එවන් කලාකෘතියක රිද්මය
රස විඳින සහෘදයා රසිකයාය.

මේ දෙදෙන මුහු කරන රිද්මය
දෘෂ්‍ය කලාකෘති තුළ සැකසී ඇති අයුරු
ශක්ති පමණින් අපිත් විමසා බලමු.

රිද්මයත්...
 දූවිලි අංශු හෝ ඇති තැනක හිරු එළිය මෙන්
වැටී ඇති අයුරු දකිනවා මිස තනිව දැකිය හැකි නොවේ.

එහෙයින්ම
රිද්මය ඉගැන්වීම නොව රිද්මය ඇති තැන් සොයාගෙන
රිද්මය සංකලනය වෙන අයුරු ලුහුඬින් හඳුනාගැනීම
මෙහි අරමුණයි.






1 comment:

  1. කලා කරුවාත්, කලාකෘතියත්, සහෘද රසිකයාත්
    එකතු කරගෙන ගලා යන
    රස වින්දනයේ පොදු ධාරාව,,,, අනර්ගයි

    ReplyDelete