20121230

නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම


ස්වභාව ධර්මයත් මිනිසාත්
අන්‍යෝන්‍ය වශයෙන්
ඉතා ප්‍රබල ලෙස
බැඳී පවතිනවා.
මිනිසා සහ
සමාජය අතර ඇති බැඳීමත්
ඒ වගේමයි.

මෙ සනාතන බැඳීම්
නිසියාකාරව, මනා තුලනයකින්,

මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන
සුවිශේෂී අවස්ථාවන්හිදී
ඒ සමාජය, ඒ පරිසරය සංවරයි.
සන්සුන්. සැනසිලි දායකයි.
එය ස්වර්ණමය රීතියක්.

සමාජයත්,
ස්වභාව ධර්මයත් සමග
මිනිසා පවත්වන බැඳීම්
අවුල් සහගත වීම නිසා
ඔහු වෙසෙන සමාජයත් පරිසරයත්
අවුල් සහගත වෙනවා,
දුක්ඛිත වෙනවා.
පිරිහෙනවා.

මේ සත්‍යය පිළිබඳ
මිනිසා දක්වන සංවේදී තාවය
එම සබඳතා මනාව පවත්වාගන්නට
නිරතුරුව උත්සාහ කරන අතළොස්සකට
අඳුරට පහනක් මෙන්,
අඳුරට පහන් කන්දක් මෙන්
ආලෝකය සැපයුවත්,
ඒ බැමි නොසලකා ක්‍රියා කරන
විසංවේදී බහුතරයට දැනෙන්නෙ
ගින්නක් මෙන් පීඩාකාරී බලපෑමක් විදියටයි.

මේ දෙපිරිස දෙපැත්තට බෙදී
සමාජය සහ පරිසරයත් මිනිසාත් අතර
සම්බන්ධයට බලපාන නීති සහ රීති
රකින්නට හෝ බිඳින්නට
එකිනෙකාට බලපෑම් කරමින්
තමා යහපත් යැයි සිතන ආකාරය
අනුව ජීවත් වෙනවා.

මෙම ගැටුම
අනාදිමත් කාලයක සිට පැවත එන,
එසේම සදාකාලිකව පවතින
සනාතන රටාවක්.

ඉහත කී බැඳීම මනාව පවත්වා ගන්නා අයුරු
බුදුන් වහන්සේ දේශනා කරන විට
බුදු සසුනෙහිම පැවිදි වූ දෙව්දත්
බුදුන් වහසේගේ හිසට ගල් පෙරළනවා.
ක්‍රිස්තුන් වහන්සේ තම ප්‍රදේශයට,
තම ජනතාවට එම නීති සහ රීති උගන්වනවිට
ඔහුගේම ගෝලයෙක් වූ ජුදාස්
උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන්නට
පාවා දෙනවා.
උදාර මිනිසෙකු වූ ලින්කන්
මිලියන ගණනාවක් වහල් ජනතාව
වහල් බැම්මෙන් මුදා ගනිද්දී,
ම්ලේච්ඡ පාලකයෙකු වූ හිට්ලර්
මිලියන ගණනාවක් යුදෙව්වන් මරා දමනවා.

නීති සහ රීති ගරු කරන්නන් සහ බිඳින්නන්
පැහැදිලිව දෙපිරිසක්.
නීති සහ රීති රැකීම අමාරුයි.
උත්සාහයෙන් කළ යුතු දෙයක්.
ඇතුළාන්තයෙන් එන පෙළඹවීම්
පාලනය කරගෙන කළ යුතු දෙයක්.
නීති සහ රීති
බිඳෙන්නට ඉඩ හැරීම පහසුයි.
ඒ සඳහා කෙනෙකු කළ යුත්තේ
ඇතුළාන්තයෙන් එන
වැරදි පෙළඹවීම්වලට ඉඩ දීමයි.

තමාට ගැටළු මතු කරන
සතෙකු හෝ මිනිසෙකු මරා දැමීම පහසුයි.
එම උවමනාව පාලනය කර ගෙන
ඒ සතා හෝ මිනිසා නොමරා සිටීම අපහසුයි.
තමන්ට නොදුන් දෙයක් ගන්නට එන පෙළඹවීම
පාලනය කර ගන්නට අපහසුයි.
ඒ පෙළඹවීමට යටත් වීම පහසුයි.
පමණ ඉක්මවා පසිඳුරන් පිනවන්නට
ඇතුළාන්තයෙන් එන බලපෑම පාලනය කිරීම දුකක්.
කාට මොන ගැටළු ආවත් කමක් නැහැ කියමින්
පමණ ඉක්මවා පසිඳුරන් පිණවන්නට
ක්‍රියාකිරීම සැපක්.
සත්‍යය කීමෙන්
තමා අකමැති දෙයක් සිදුවෙන විට
ස්වාර්ථය පසෙක ලා
සත්‍යය පැවසීම වදයක්.
අනෙකා මුලා කරන්නට
හිතාමතාම බොරුවක් නිර්මාණය කිරීම
සැනසිල්ලක්.
තමන් කරන කියන දේ පිළිබඳව
එවෙලෙ කරන දේ එවෙලෙහිම දකිමින්
අප්‍රමාදීව, සිහියෙන් පසු වීම ඉතාම අපහසුයි.
මත්පැනින් සිහිවිකල්ව
හිතු මතේ හැසිරීම පහසුයි.

මිනිසාත්, සමාජයත්, පරිසරයත්
එකිනෙක හා බද්ධ කරන නීති සහ රීති අතර
සැලකිය යුතු වෙනසක් තියනවා.
ස්වභාව ධර්මයේ නීතියක් හෝ
සමාජ සම්මත නීතියක්
දැන හෝ නොදැන බිඳීම
දඬුවම් ලැබීමට හේතුවක්.
පවතින සමාජයේ ගෝත්‍රික ස්වභාවය මත
හා ඔඩු දුවනලද අක්‍රමිකතා මත
සමාජ සම්මත නීතියක් බිඳ
"මට මතක නෑ ඕයි"කියා
බේරෙන්නට හැකිවුවත්
ස්වභාව ධර්මයේ නීති බිඳින්නාට
එම මොහොතේ පටන්ම
ඊට වන්දි ගෙවන්නට සිදුවෙනවා.
ඔහුගේ දඬුවම පටන් ගන්නේ
එම මොහොතේමයි.
ඉන් පසුව
ඔහුගේ චේතනාවේ ප්‍රබලතාවය අනුව
වරින් වර ඔහු ඊට දඬුවම් ලබනවා.

රීති කියන්නෙ
ඊට වඩා ලිහිල් ධර්මතා රටාවක්.
රීති රකින්නට කෙනෙක් දැනගත යුතුයි.
පුහුණුවිය යුතුයි.
රීති රකින්නට
ඇතුළාන්තයෙන් එන පෙළඹවීම
ඉතාමත් සියුම් නිසා
හිත ඉතාම සමාහිත සහ
මනා සිහියෙන් යුතු කෙනෙකුට හැර
රීති රකින්නට එන
ඇතුළාන්ත පෙළඹවීම
හඳුනා ගත නොහැකියි.
උපතෙහිදී දරුවන්ට උරුම වෙන
මේ නිර්මල ශක්‍යතාවය
ඔහු වෙසෙන පරිසරය හා ඇසුර අනුව
ඉතා ඉක්මණින් හෝ හෙමින්
ඔහුගෙන් ගිලිහෙනවා.
පිරිහෙනවා.

නීති අනිවාර්යයෙන්ම නොබිඳිය යුතු වුවත්
රීතියක් රකින්නට කියා
අනවබෝධයෙන්,
චිම්පන්සි රටාවට අනුව,
පවතින්නන් වාලේ රැකීමෙන්
රීතියෙන් බලාපොරොත්තු වන අරමුණට
හාත්පසින්ම වෙනස් වූ දෙයක්
සිදු වන්නට පිළිවන්.
කහ ඉරෙන් පැනීම
තවමත් නීතියක් නොවන නුවරක කෙනෙක්
පාරේ පෙනෙන තෙක් මානයක
වාහනයක් නැති විටක වුවත්
කහ ඉරක් සොයමින් යාම
කහ ඉරෙන් කෙරෙන කාර්යය
අවබෝධ කර නොගැනීම මත සිදුවන්නක්.

රීති හඳුනා ගන්නටත් රකින්නටත්
කෙනෙකු වෙසෙන හා ඔහු අවට පවතින සමාජය
සාධකයක් හෝ බාධකයක් වෙන්න පුළුවන්.

මහා මංගල සූත්‍රය කියන්නෙ රීති මාලාවක්.
බාලයන් ඇසුරු කිරීම පාප කර්මයක් නෙමෙයි.
එහෙත් බාලයන් ඇසුරු කරන්නා
මිනිසෙකු වශයෙන් හා ශිල්පියෙකු වශයෙන්
ඔහු සිටින තැනින් පහළට වැටෙනවා.
දෙමව්පියන් නොසලකා හැරීම පවක් නෙමෙයි.
ඒත්..දෙමව්පියන් ඉක්මවවා නොයන එක,
ඔවුන්ට අවශ්‍ය විට උපකාර කරමින්
උප ස්ථානයෙහි විසීම උතුම් කරුණක්.
දරුවන්ට, නෑදෑයින්ට සංග්‍රහ කිරීමත්
එවැනිම උතුම් රීතියක්.
බුදු දහම නොපවතින සමාජවල පවා
මේ රීති ක්‍රියාත්මක වෙනවා.
මේ රීති නොසලකා ක්‍රියා කරමින්
පිරිහුණු ජීවිත ගත කරන
බොදුනුවන්ද සිටිනවා.

නීති අනිවාර්යයෙන්ම නොබිඳිය යුතුයි.
දුර්දාන්ත, අවලම් සමාජයක
නීති බිඳීමෙන් වුණත්
කෙනෙකුට දියුණු වෙන්න
නීති විරෝධී පහසුකම් තියනවා.
ඒත් දඬුවම ඔහුට උරුම දෙයක්.
රීති අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
රීති දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම් රැකීම
දියුණුවට හේතු වෙනවා.
රීති නොරැකීමෙන්
පිරිහෙන්නේ නැහැයි
කියන්නත් බැහැ.
රීති නොරකින්නාගේ
සිහිය පිරිහෙන නිසා
සමස්තයක් වශයෙන්
පිරිහීමක් සිදුවෙනවා..

රීති හොඳින් දන්න කෙනෙකුට
එම රීති වලට වහල් නොවී
එම රීති තමන්ට වහල් කරගෙන
නම්‍යශීලීව සහ
නිර්මාණශීලීව භාවිත
කරගන්නට පුළුවන්.
සරුංගලයට සුළඟ බලපාන අයුරු
හොඳින් දන්නා දරුවාට
එයට විරුද්ධව ක්‍රියා කරමින්
ඔහුට රිසිපරිදි
සරුංගලය මෙහෙයවිය හැකියි.

බැහැරින් එන බලපෑම් මත සිදුවුණත්
තමන්ගෙ නොහැකියාව මත සිදු වුවත්
නීති රීති රැකීම හෝ බිඳීම
අතිශයින් පෞද්ගලික වූ සංසිද්ධියක්.
නීති රීති රැකීම හෝ බිඳීම
ඉතාම තදින්
මිනිසාත්, සමාජයත්, පරිසරයත් අතර ඇති
සනාතනික පොදු සබඳතාවයන් කෙරෙහි බලපාන
ධර්මතා මාලාවක්.
ඒ ධර්මතා අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්,
පිළිපදීම හෝ බිඳීම මත
මිනිසාත්, සමාජයත්, පරිසරයත්
දියුණුව හෝ පිරිහීම කරා
ගමන් කරන දිශානතිය
තීරණය වෙනවා.

ඉතා තදින් එකිනෙකා මත බල පවත්වන
ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති
සනාතන බැඳීම මෙන්ම
ඊට වඩා ලිහිල් වුවත් වඩාත් තීරණත්මක වන
මිනිසා සහ සමාජය අතර බැඳීම
නිසියකාරව පවත්වා ගැනීම
සියල්ලන්ගේම යහපතට හේතුවෙන ආකාරයේ
උතුම් ශක්‍යතාවයක්.
අවශ්‍යතාවයක්.
වගකීමක් මෙන්ම යුතුකමක්..
මෙ බැඳීම් නිසියාකාරව,
මනා තුලනයකින්, මනා පාලනයකින්
ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති
මනාව රැකෙන අවස්ථාවන්හිදී
ඒ සමාජය, ඒ පරිසරය සංවරයි.
සන්සුන්.
සැනසිලි දායකයි.

දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන රීතිත්
අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම් රැකීම
කලාවේ හා ශිල්පයේ දියුණුවට හේතු වෙනවා.
නොරැකීමෙන් පිරිහෙන්නේ නැහැයි කියන්නත් බැහැ.
රීති නොරකින්නාගේ සිහිය පිරිහෙන නිසා
සමස්තයක් වශයෙන් පිරිහීමක් සිදුවෙනවා..

මිනිසාත් ස්වභාව ධර්මයත්
ඉතා තදින් එකිනෙකා මත බැඳී පවතිනවා.
මෙ බැඳීම නිසියාකාරව, මනා තුලනයකින්,
මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන අවස්ථාවන්හිදී
කරන කියන දේ පහසුයි.

දෘශ්‍ය කලාවේදී
රාමුවකට කොටු කරන දෘෂ්‍ය රූප
කිහිපයකට හෝ සමූහයකටත්
අදාල නීති රීති පවතිනවා.

දෘෂ්‍ය කලාවෙදී
බොහෝ දෘෂ්‍ය කලා නිර්මාණ වල
රසිකයාගේ සිත මුලින්ම යොමු කර ගන්නා
නිශ්චිත අරමුණක් තියනවා.
එම අරමුණ
එය පවතින පරිසරයත් සමග පවත්වන බැඳීම අනුව
අපිට පහළ වෙන හැඟීම් වෙනස් වෙනවා.

එක් අවස්ථාවක
අරමුණ පරිසරය ඉක්මවා ඉස්මතු වෙනවා.
තවත් අවස්ථාවක
පරිසරය අර්මුණ ඉක්මවා බලය පතුරුවනවා.

මුහුණක සමීප රූපයක් පෙන්වන ශිල්පියෙකුට
පරිසරයට වඩා ඒ මුහුණෙහි තියන හැඟීම,
ආලෝකය අඳුර ආදිය වැදගත්.
ලී ජෙෆ්‍රීස් වැන්නන්
පරිසරයේ බලපෑම
ඉතාම අවම කිරීමට කටයුතු කරනවා.

ඈත අහසේ පියා සලන කුරුල්ලෙක්,
ඈත දියඹේ පාවෙන රුවල් ඔරුවක් පෙන්වන විට
පරිසරය වැදගත් වෙනවා.
මුහුදු රළ, අහසේ වළාකුළු, බැස යන හිරු ආදී
පරිසර සාධක ඉතා තදින්
අරමුණ කෙරෙහි බල පවත්වනවා.

මේ අවස්ථා දෙකේදීම
අරමුණ අපිට අවශ්‍ය ආකාරයෙන් දැකීමට
රසිකයාගේ දිශානතිය සකස් කරන්නට
අපි දෘශ්‍ය කලා රීති උපයෝගී කර ගන්නවා.

ස්වර්ණමය රීතියත් එවැන්නක්.
ස්වර්ණමය රීතිය කියන්නෙ
මිනිසා ඇසෙන් ලබා ගන්න තොරතුරු
ඔහු කියවන ආකාරය මත
එම කියවීමට පදනම් වන
ස්වභාව ධර්ම නීති ඇසුරෙන් සකස් වුණ
ඉතා පැරණි සම්මතයක්.

එමෙන්ම ස්වර්ණමය රීතිය
නිර්මාණ ශීලීව බිඳින අයුරුත්
අපි ඉගෙනගත යුතුයි
============================
Original Photo by Steve McCurry

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



No comments:

Post a Comment