20130924

Yousuf Karshගෙ කණා ෂොට් එකක්ද?

ඡායාරූපය කියන්නෙ අතුරුඵලයක්.


දියුණු කළ යුත්තෙ ඡායාරූපය නොවෙයි.
දියුණු විය යුත්තෙ ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි.



Yousuf Karshගෙ කණා ෂොට් එකක් නොවන ඡායාරූපයක්..යුසුෆ් කර්ශ් ඡායාරූපයක් ගන්නට පෙර
තමන් ඡායාරූපයට නගන චරිතය
ඔහුගෙ හැසිරීම් රටා, විනෝදාංශ ආදිය
හොඳින් හදාරා සූදානම් වෙන කෙනෙක්.

චර්චිල් කෝප ගැන්වීම නම්
කර්ශ් ලොකු පූර්ව සූදානම් වීමකින්
හිතා මතා කළ දෙයක් නොවෙයි.

ඔහු මුලින් අළු බඳුන දික් කළ විට
චර්චිල් සුරුට්ටුව තැබුවා නම්
මේ ද්වේශය ඇතිවෙන්න හේතුවක් නැහැ.

1,
කර්ශ් කලින් දින හැන්දෑවේ
ඔහුගෙ උපකරණ සූදානම් කොට තිබුණා.


2,
චර්චිල් ගේ සේයා රුව  සුරුට්ටුව නැතිව ගන්නට
කර්ශ් සැලසුම් කොට තියෙන්න ඇති..

ඔහු චර්චිල් අළු බඳුන දික් දික්කළ නමුත්
චර්චිල් සුරුට්ටුව තිව්වේ නැහැ.
සේයාරුව ගන්නට පෙර සුරුට්ටුව අදින්නට සිතාගෙන
කර්ෂ් කැමරාව නැවත වරක් පිරික්සුවේ
ඊළඟ දසුන මග හැරුණොත් ගන්නට
නැවත නොහැකි වන බවට ඉවක් ඔහු තුළ වූ නිසයි..

සුරුට්ටුව නැතිව ගන්නවා කියන තීරණය හැර
"චර්චිල් ගේ සේයා රුව කෙබඳු විය යුතුද" යන්න ගැන
ඒ වාතාවරණය තුළ
කර්ශ්ට පාලනයක් තිබුණා කියන්න
අපට බැහැ..

3,
සුරුට්ටුව ඇද ඉවත් කළ විට
චර්චිල්ගේ ඇතිවෙන අප්‍රසාදය
කලින් අනුමාන කිරීම
මිනිස් චර්යාවන් පිළිබඳව කර්ශ්ගේ ඇති ඉව
ප්‍රකට කෙරෙන කරුණක්...

ඒ හැඟීම ඔහු සැලසුම් කළේ
ඔහු අළු බඳුන දික් කළ විට
චර්චිල් සුරුට්ටුව නොතැබුවාට පසුවයි.

4,
ඔහු කැමරාව, ආලෝකය ආදිය
මනාව තියනවාද කියා
පිරික්සුවේ ඒ මොහොත
තීරණාත්මක බව දන්න නිසයි.

5,
ඔහු අළු බඳුන දික් කරන්නට පෙර
චර්චිල් සුරුට්ටුව උරන තුරුත්
ඔහු ඉවසුවා.

6, ඔහු අනියම් ආකාරයෙන්
චර්චිල්ව අධ්‍යක්ෂණය කළා..

ඒ ශිල්පීය පරිචය සුවිශේෂයි.
එය තාක්ෂණික දක්ෂතාවය මෙන්
සුලබ දෙයක් නෙමෙයි.

මංගල ඡායාරූපකරණයේ යෙදෙන
සියයට අනූවක් පමණ තාක්ෂණික දක්ෂයන්.
ඒත් මනාල යුවලගෙ අනන්‍යතාවයන් හඳුනාගෙන
පරිසරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට හැකියාව ඇති අය
සියයට දෙකක් තුනක්වත් ඇතැයි කියන්න බැහැ.


අපි කරන
අපි දකින බොහෝ නිර්මාණ තියෙන්නෙ
කණා ෂොට් එකත් කලාකෘතියත් අතරයි.

අපේ ඡායාරූපයක්
අනෙක් ඡායාරූප අතර කැපී පෙනෙන්නෙ
එහි කණා ෂොට් ගතිය අඩු නම් තමයි.

රස විඳින්නා හා විචාරකයා
මොන කතිකාවතක් ගොඩ නැගුවත්
පරිණත කලාකරුවෙකුට
තමන් යන මග පැහැදිලි විය යුතුයි.

ඔහු මහා පුරුෂයෙක් විය යුතු නැහැ.
ඔහු නිවැරදි, ඍජු මිනිසෙකුවීම ජීවිතයකට ප්‍රමාණවත්.

කිසියම් කෘතියක්
නිෂ්පාදකයාගේ  කණා ෂොට් එකක් වුවහොත්
රසිකයන් හා විචාරකයන් කණා මුට්ටිය බිඳින්නන් වීමයි
එහි ප්‍රතිඵලය විය හැක්කේ.

බොහෝ විට
බිඳින්නට මුට්ටියක්
ඇත්තෙම නැහැ.

අපි දන්න දේත්, අපි ලබල තියන පුහුණුවත්,
අපේ ආම්පන්නත්,
අපිට ලැබෙන හෝ හදාගන්න අවස්ථාවත්
ආදී වශයෙන් බොහෝ දේ වල
පොදු ගුණාකාරයක් තමයි,
ඡායාරූපයක් කියන්නෙ.

ඡායාරූපයක්
කණා ෂොට් එකක් නොවන්නට නම්
ඡායාරූප ශිල්පියා බොහෝ දේ ප්‍රගුණ කළ යුතුයි.
දියුණු කළ යුත්තෙ ඡායාරූපය නොවෙයි.
දියුණු විය යුත්තෙ ශිල්පියා සහ ඔහුගෙ දැක්මයි.

දැක්ම ඡායාරූපයට නගන්න
තාක්ෂණයත් අවශ්‍යයි.

මේ දේවල් අපි කොයි තරම් දුරට
දැනුවත්ව යොදාගත්තාද කියන එක මත
අපෙ කෘතියෙ කණාෂොට් බව අඩු වැඩි වෙනවා.

ඡායාරූපය කියන්නෙ අතුරුඵලයක්.

සැබෑ ප්‍රතිඵලය නම් ඡායාරූප ශිල්පියාගෙ වර්ධනයයි.

No comments:

Post a Comment