20130912

facebook සමූහවල හැසිරෙන නවකයින්ට..






කිසිවෙක් ඔබට සම්බන්ධ වෙනවා නම්
ඔහුගෙන් ඔබට හෝ ඔබෙන් ඔබට
ලැබෙන දෙයක් තියනවා.
ඒ දේ හොඳක් වෙන්නත් පුළුවන්.
නරකක් වෙන්නත් පුලුවන්.

ඔබ හැදෙන්නට හදන විට..
ඔබට හැදෙන්නට උවමනා බව පෙනෙන විට
කෙනෙක් ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්‍ය කරවන
ඕනෑම දෙයක් කරනවිට
එසේ ඉදිරිපත් වෙන තැනැත්තාට
ඔබ අධෛර්ය කිරීමෙන්
ඔබ අකර්මණ්‍ය කිරීමෙන්
ඇති ප්‍රයෝජනය කුමක්දැයි සිතන්න.
හැකි නම් ඔහුගෙන් අසන්න.
ඔහු අන් අයට නැති ආදරයක්
ඔබට දක්වන්නේ මන්දැයි
ඔබෙන්ම විමසන්න.

කිසිවෙක් ඔබේ පියස්සේ පිදුරු ගහකට
ගිනි අවුලුවන විටම ඔහු හඳුනා ගන්න.
ඔබේ ගින්න වහාම නිවාගෙන
සැලකිල්ලෙන් ඔහු දෙස බලන්න.
ඔහු දැවෙන ගින්න බලන්න.
ඔබේ ගින්නෙන් ඔහු දවන්නට
උත්සාහ කරන්න එපා.
නිවැරදි දේ කරන්න.
ඔබේ ගමන ඔබ යන්න.

සමාජයට එඩිතරව මුහුණ දීම,
විශේෂයෙන්ම විරුද්ධවාදීන්ට මුහුණ දීම
ඕනෑම ක්ශේත්‍රයක නවකයින්ට පොදුයි.

බිඳෙන භාණ්ඩයක් වගේ
සමාජයෙන් කොන්වී සිටින අයට
පැවැත්මක් නැහැ.

ඇඩ්මින්වරුන්ගේ හා සාමාජිකයන්ගේ
නිර්දය පහරදීම් නිසා
සමූහ වලින් ඉවත්වී ගිය
ප්‍රබල සහජ හැකියාවන් සහිත
සමාජිකයන් බොහෝයි.
ඔවුන්ට මෙන්ම සමූහවලටත් එය හානියක්.

නවක දක්ෂ සාමාජිකයෙක්
සමූහයකට එළියක්.

ඉගෙන ගන්න නවක සාමාජිකයන්
හැදෙන හැම කෙනෙකුටම ආලෝකයක්.

සහජ හැකියා ඇති හෝ නැති
ඉගෙන ගන්නට පෙරුම් පුරන,
ලැබෙන අවස්ථාවෙන් ඉගෙන ගන්න මැලි නොවෙන
නවක සාමාජිකයන් පෙළ තරම්
අන් කිසිවෙක් සමූහයකට වටින්නේ නැහැ.
ඇඩ්මින්වරුන්ගේ මූලිකම වගකීම
ඔවුන් ආරක්ෂා කිරීමයි.
නොකැපූ මැණික් මෙන්
ඔවුන් දෙස ගෞරවයෙන් බැළිය යුතුයි.

ඔප දමන්නට බැරි නම්
ඔප වැටෙන්නට අවස්ථා සැලසීම
ඇඩ්මින්වරුන්ගේ යුතු කමක්.

ආර්නෝල්ඩ් කොනන්ට රඟපෑ
Conan the Barbarian
චිත්‍රපටිය ඇරඹෙන
නීට්ෂේගේ කියමන....
" අප මරණයට පත් නොකරන
හැම අත්දැකීමකින්ම
අප ශක්තිමත් වෙයි."

මේ පාඨය නවකයන්ට හොඳ ආදර්ශයක්.

හැම පහරකින්ම පන්නරය ලබන්නට
ඊට මුහුණ දෙන්නාට
හැකියාවක් තියනවා.

විශේෂයෙන්ම
සහජ හැකියාවන් ඇතත්
නුහුරුකම නිසා හෝ
බියගුළු බව නිසා හෝ
නිවට බව නිසා හෝ
අන් අයගේ හිරිහැර හිංසා වලට
මුහුණ දීමට ශක්තියක් නැතිව
අදහස් පළකිරීමෙන් වැළකී සිටින
කරළියෙන් ඉවත් වෙන නවකයන්ට
නැතිවෙන දේ බොහෝයි.

ඔවුන්ට යමක් දෙන්නට ඉදිරිපත්වන අය
කාගේ කුමන පහරදීමකට ලක් වුණත්
තමා රැකගැනීමට ශක්තිමත් විය යුතුයි.
පළමුව තමාගෙන්ම තමා රැක ගැනීමට
ශක්තිමත් විය යුතුයි.
යහපතක් සිදු කරන්නාට පහර දෙන
මතුපිටින් මහත්වරුන්
බොහෝ දෙනක් ඇතුළතින් නරුමයන්..නැත්නම්
කාලය විසින් හෝ
නරක පුරුදු, නරක ආශ්‍රය නිසා
නරුමයන් බවට පත්වූ
සංවේදී මිනිසුන්.

අතීතය කුමක් වුවත්
නරුමයෙක් ලෙස හැසිරෙන්නා නරුමයෙක්.
ඔවුන්ට තමා දැකීමේ හැකියාවක් නැහැ.

කොතැනක හෝ වර්ධනයක්,
දළුලෑමක් සිදුවෙන විට
ඔවුන් තුළ ගින්නක් ඇවිලෙන්න පටන් ගන්නවා.

ඒ ගින්නෙන් දැවෙන ඔවුන්
ගින්න නිවා ගන්නට කරන්නේ
ඒ ගින්නට හේතුවුණ තැන්
දවන්නට ක්‍රියා කිරීමෙනුයි.

අවාසනාවකට මෙන්
ඔවුන් බොහෝවිට සාර්ථක වෙනවා.
එවැන්නන් බලය පතුරුවන සමූහවලින්
නිර්මාණශීලීන් දුරස් වෙනවා.

එවැනි තැන්වල පවතින්නේ
මත්පැන්හලක ඇති වාතාවරණයක්.
මානය, ඉරිසියාව, අහංකාරකම වැනි
දූෂිත සිතිවිලි වලින් මත් වුණොත්
මත්පැන්වලට වඩා හානිකරයි.
ඔවුන් බීමත්ව පහර දෙන්නේ
හැදන පැල වලටයි.

විශේෂ පුද්ගලයින්
හිතා මතා ඇති කරන
බොහෝ හිස් ප්‍රශ්න පිටුපස ඇත්තේ
වක්‍ර පහර දීමක්.
එහි අන්තයේ ඉන්නේ
දෙපයින් නැගිටින්නට උත්සාහ කරන
ඉගෙන ගන්නට කැමති
දක්ෂ ළාබාල නවකයන්.

ඔවුන්ගේ වක්‍ර ප්‍රහාරයෙන්
අකර්මණ්‍ය වන්නේ නවකයන්.
ඔවුන්ගේ ප්‍රධානම අරමුණ එයයි.

කැරම් ලෑල්ලේ වටේ දාරය සහ
කලු සුදු ඉත්තෝ
යමක් දෙන්නට හදන අයයි.
රතු ඉත්තා නවකයායි.

හැකි ඉක්මණින්
නවකයා වලට දමාගන්නට
ඔවුන් අනික් ඉත්තන්ට
විවිධාකාරයෙන් පහර දෙනවා.

අදක්ෂ නවකයන්ට
මේ ප්‍රශ්නය අදාළ නැහැ.
දක්ෂ නවකයන්
එය තේරුම් ගත යුතුයි.

ඔවුන්ගෙන් පහර ලබන විට
කළයුතු පළමු සහ හොඳම දේ
තමන් ඔවුන් සිටින තත්වයට
පත් නොවී සිටීමයි.

ඔවුන් වියරුවෙන් මෙන් හැසිරෙන්නේ සැලසුම් සහගතවයි.
ඔවුන්ගේ ප්‍රහාර වලින් කොයිතරම් රිදුණත්
ඒ වේදනාවෙන් ඔබ වියරු නොවැටිය යුතුයි.
ඔබේ ආවේගය පාලනය කරගත යුතුයි.

ඔහු ඔහුගේ වල් අශ්වයා මුදා හැරියාවේ.
ඔබේ අශ්වයාගේ තෝන් ලණුව
තදින් අල්ලන්න.
ඔබේ අශ්වයා පාලනය කර ගන්න.

ඔබට එරෙහිව
ඔවුන් යොදා ගන්නා හොඳම අවිය
ඔබයි.
ඔබේ ම කැළඹීමයි.

ඔවුන් ඔබට කැළඹිලා පෙන්වනවා.
ඔබ නොකැළඹුණොත් ඔවුන්ට
ඔබ අනුගමනය කරන්නට වෙනවා.

ඔහු අන් අයගේ සිනාවට ලක්වුණාවේ.
ඔබ ඔහුගේ සහායකයා වෙන්න එපා.

ඔහුගේ ප්‍රකාශවල හරයක් ඇත්නම්
සන්සුන්ව, තර්කානුකූලව පිළිතුරු දෙන්න.
හරයක් නැත්නම් මග හරින්න.

ඔහුගේ අරමුණ සංවාදය නොවේ නම්
ඔහු ඔබ පසුපස
දිගින් දිගටම එළවනවා නම්
ඔබට කළහැකි හොඳම දේ
අනතුරු ඇඟවීමකින් පසුව හෝ
අනතුරු ඇඟවීමක් නැතිවම
ඔවුන් බ්ලොක් කිරීමයි.

සාමාජිකයන් වෙත ඔවුන් සමීපවන්නේ
සාමාජිකයන්ගේ යහපත තකා
අනතුරු අඟවන හිතවතුන් ලෙසයි.
පුද්ගලිකව හමුවීමෙන් හෝ
ඊමේල්, පණිවිඩ මගින්
ඔබ නතුකරගන්නට
ඔවුන් බොහෝවිට සමත්.

ඔබ රස විඳින දේට
විෂ පොවන්නට ඔවුන් දක්ෂයි.

ඔබ රැකෙන විදිය
ඔබ පුහුණු නොවුණාට
ඔබ අකර්මණ්‍ය කරන විදිය
ඔවුන් හොඳින් පුහුණුවෙනවා.

තනිව නොහැකි නම් කල්ලි ගැහෙනවා.
මදුවිත තොලගාමින්, බයිට් සපමින්
ඔවුන් ඔබට විරුද්ධව
අවි මුවහත් කරනවා.

කිසිවෙක් ඔබේ පියස්සේ පිදුරු ගහකට
ගිනි අවුලුවන විටම ඔහු හඳුනා ගන්න.
ඔබේ ගින්න වහාම නිවාගෙන
සැලකිල්ලෙන් ඔහු දෙස බලන්න.
ඔහු දැවෙන ගින්න බලන්න.
ඔබේ ගින්නෙන් ඔහු දවන්නට
උත්සාහ කරන්න එපා.
නිවැරදි දේ කරන්න.
ඔබේ ගමන ඔබ යන්න.

ඔබ නිවැරදි නම්
ඔබට ඔහු ගැන ඇතිවෙන්නේ කරුණාවක්.
ඒ කරුණාව ඔබටත් ඔහුටත්
දෙදෙනාටම ආරක්ෂාවක්.

ඔබේ ඉගෙනීමට,
ඔබේ වර්ධනයට හානිකරන ඕනෑම කෙනෙක්
සැල්වීනියා වැනි වල්පැලෑටියක් ලෙස සලකන්න.

ඔහු ඔබෙන් ඉවත් කරන්නට වෑයම් කරන්නේ
ඔබේ අනාගතයෙන් කොටසක් බව තේරුම් ගන්න.

ඔබේ ඉදිරිගමනට හිරිහැරයක්,
හෝ කරදරයක් ලෙස පෙනෙන
ඕනෑම කෙනෙක්
ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්ය කරවන 
ඕනෑම කෙනෙක්
ඔහු කවරෙකු වුවත්
බ්ලොක් කර දමන්න.

ඉන්පසුව
ඔබ කරන දේ ඔහුටත්,
ඔහු කරන දේ ඔබටත්
පෙනෙන්නේ නැහැ.

ඔබේ මිතුරු සමූහය
වල් පැළ වලින් ආරක්ෂා කරගන්න.
ඔබ අධෛර්ය කරන
ඔබ අකර්මණ්ය කරවන ඕනෑම කෙනෙක්
ඔහු කවරෙකු වුවත්
බ්ලොක් කරන්න.





No comments:

Post a Comment